News

දේශපාලකයන්,දේශපාලන කටයුතු ගැන අදහස් දැක්වීම තහනම්

යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් එම නියෝගය ලිපි මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ඇති බව උසස් නිලධාරියෙක් පැවැසීය.

එම නියෝගවලට ප්‍රකාරව සියලුම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා භාවිතා කිරීමේ දී ස්වකීය නිල නාමය ඇතුළු හමුදා අනන්‍යතා තොරතුරු හෙළි කිරීමෙන් වැළකිය යුතු අතර නිල ඇඳුම, හමුදා උපකරණ, ආයතන, පෙන්නුම් කරමින් පැතිකඩ ඡායාරූප  හෝ පසුතල ඡායාරූප භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

තව ද ජාතික ආරක්ෂාව, යුදමය කරුණු, දේශපාලනික කරුණු, දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරීන්ට අපහාස වන අන්දමේ කරුණු, වාර්ගික  හා ආගමික  සුසංවාදයට  හානි පමුණුවන කරුණු ඇතුළත් නිර්මාණ, පෝස්ටර් හෝ වෙනත් තොරතුරු සමාජ ජාලා තුළ උත්පතනය   කිරීම, යොමු කිරීම , අදහස් දැක්වීම සහ බෙදාහැරීම යුද හමුදා සාමාජිකයන් විසින් නොකළ යුතු බවට ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

මෙම නීති උපදෙස් උල්ලංඝණය කරන සියලු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බව ද යුද හමුදා මූලස්ථානය කියයි.

යුද හමුදා සාමාජිකයන් මෙම නියෝග උල්ලංඝණය කරන්නේ දැයි නිරීක්ෂණය කිරීමට, හඳුනා ගැනීමට යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී ඇතුළු කණ්ඩායමක්  දැනටමත් පත් කර ඇති බව ද යුද හමුදා මූලස්ථානය කියයි.

එම නිරීක්ෂණ කණ්ඩායම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා  කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ කරනු ලබන බව ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top