News

වසරේ පලමු චන්ද්‍රග්‍රහණය සහ සුපිරි සදක් හෙට

සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් (සුපර් බ්ලූ බ්ලඞ් මූන්) එකවර දැකගැනීමේ අවස්ථාව අනිද්දා (31) ට යෙදෙන නවම් පුර පසළොස්වක පොහෝ දිනයේදී ලෝක වාසීන්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ලංකාදීපයට පැවසීය.

මීට පෙර මෙවැන්නක් සිදුව ඇත්තේ 1866 වසරේ වන අතර ඒ අනුව මෙම අවස්ථාව උදාවන්නේ වසර 152කට පසුවීම විශේෂත්වයකි.

නීල චන්ද්‍රයා යන්නෙන් නිල් පැහැ සඳක් යන්න අර්ථවත් නොවන අතර එකම මාසයක දෙවරක් පූර්ණ චන්ද්‍රයා දිස්වීම නීල චන්ද්‍රයා ලෙසින් හඳුන්වනු ලබන බව මහාචාර්යවරයා සඳහන් කළේය.

පසුගිය ජනවාරි 1 වැනිදා ද පූර්ණ චන්ද්‍රයා දිස්වූ අතර 31 වැනිදා යළිත් පූර්ණ චන්ද්‍රයෙකු දිස්වීම සිදුවේ.

එමෙන්ම මෙම පොහෝ දිනයේදී චන්ද්‍රයා වෙනත් පොහෝ දිනවලදීට වඩා සියයට 14ක් විශාලව සහ සියයට 30ක් දීප්තිමත්ව දිස්වන බව කී මහාචාර්යවරයා එය ‘සුපිරි සඳක්’ ලෙස හඳුන්වන බව ද ප‍්‍රකාශ කළේය.

මෙම වසරේ පළමු චන්ද්‍ර ග‍්‍රහණයද මෙදින සිදුවන අතර එහි ආරම්භය මෙරට වේලාවෙන් පස්වරු 4.21ට පමණ සිදුවන නිසා ශ්‍රී ලංකාවට දිස්වන්නේ එහි අවසන් කොටස පමණක් බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීවේය.

පූර්ණ චන්ද්‍රග‍්‍රහණ අවස්ථාව පස්වරු 6.22 සිට 7.38 දක්වා දිස්වන අතර රාත‍්‍රී 9.38ට චන්ද්‍රග‍්‍රහණය අවසන්වන බව කී මහාචාර්යවරයා එය නිරීක්‍ෂණය කිරීමට හොඳම කාලය පස්වරු 6.15 සිට රාත‍්‍රී 8.41 දක්වා කාලය බව ද කියා සිටියේය.

එය ආසියානු රටවල්, ඕස්ටේ‍්‍රලියාව, පැසිෆික් සහ උතුරු ඇමෙරිකාවේ බොහෝ රටවල්වලට දිස්වන බව ද මහාචාර්යවරයා පැවසීය.

ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය ‘‘බ්ලඞ් මූන් හෙවත් ලෝහිත චන්ද්‍රයා’’ ලෙස ද හඳුන්වන බව කී චන්දන ජයරත්න මහතා සඳෙහි පෘෂ්ඨය වෙත රතු ආලෝකය පතිත වී පූර්ණ චන්ද්‍රග‍්‍රහණය අවස්ථාවේ අඳුරු පැහැයට වඩා රත් පැහැයක් ගන්නා විට එසේ හඳුන්වන බව ද කීවේය.

සුපිරි සඳක් ඇතිවන අවස්ථාවේ චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර 50,000ක් පමණ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අතර එයින් වඩදිය මට්ටමේ සුළු වැඩිවීමක් මිස කටකතා මගින් පැතිර යන පරිදි භූමි කම්පා හෝ සුළි සුළං ඇති නොවන බවද ඔහු සඳහන් කළේය.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top