News

ඇමති විදුහල්පති දණ ගස්ස වූ කතාවේ සියල්ල හෙලිවෙයි

ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන භවානි රගුනාත් මහත්මිය අද හඬා වැටෙමින් පිළිගත්තාය.

එම සිද්ධියෙන් පසු එවැනි සිද්ධියක් නොවූ බවට තමා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසා බව ද එම විදුහල්පතිනිය පැවසුවාය.

පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් එද එම පාසලට ගොස් තිබුණු අතර ඒ ගැන පැතිර ගිය ආරංචිය නිසා තවත් පිරිසක් ජනමාධ්‍යද සමඟ අද පාසලට ගොස් තිබේ. එම අවස්ථාවේ පළාත් අධ්‍යාපන ලේකම්වරියද ඉදිරිපිට විදුහල්පතිනිය හඬා වැටෙමින් තමා මුහුණ දුන් සිදුවීම විස්තර කළාය.

එම විදුහල්පතිනිය සිද්ධිය වූ දිනයේම ඒ ගැන පාසල් ලොග් සටහන් පොතේ සටහනක් දමා ඇති අතර ඉන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් ඇය කැඳවා එවැනි සිදුවීමන් නොවූ බවට ප්‍රකාශයක් කරන්නැයි කළ බලපෑම් ගැනද විදුහල්පතිනිය ලොග් සටහනක් තබා තිබේ.

ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ. ජනවාරි නව වැනි දා විදුහල්පතිනිය පළාත් සභාවට කැඳවූ පළාත් අධ්‍යාපන ලේකම්වරිය විදුහල්පතිනිය පළාත් සභාවට යෙමු කොට මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඇයට දැනුම් දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ ජනමාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන විමර්ශනයක් ආරම්භ කළ බවයි. ලංකා ගුරු සංගමය ද ඒ ගැන පැමිණිල්ලක් කර ඇති බව ද කොමිෂන් සභා ප්‍රකාශකයා කීවේය.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top