ලෝකය

රැඩිකල් චන්ද්‍ර මෙහෙයුමක්

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ උපදෙස් මත, අභ්‍යවකාශ තරණයේ තවත් පියවරක් ඉදිරියට තබමින්, අමුතු විදියේ චන්ද්‍ර මෙහෙයුමකට චීනය මෙම 2018 වසරේ සූදානම් වෙයි.

චීන පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට එය ‘රැඩිකල්’ චන්ද්‍ර මෙහෙයුමකි. චීනය මීට පෙර ද චන්ද්‍ර මෙහෙයුම් සිදු කර ඇත. අවසන් වරට 2013 වසරේ දී චීනය සඳ ගවේෂණය කළේ ‘චැංග් ඊ 3’ මෙහෙයුම යටතේය.

චීන විද්‍යාඥයන් මෙම නව මෙහෙයුම නම් කර ඇත්තේ ‘චැංග් ඊ 4’ යනුවෙනි. මෙම නව මෙහෙයුම අදියර දෙකක් යටතේ සිදුවෙයි. මින් පෙර සිදු කළ මෙහෙයුම් මෙන් නොව, මෙය ඉතා සංකීර්ණ, සංවේදී මෙන්ම අභියෝගාත්මක මෙහෙයුමක් බව චීන විද්‍යාඥයෝ පැහැදිලි කරති.
‘චැංග් ඊ 4’ මෙහෙයුමේ පළමු අදියර ලබන ජූනි මාසයේ දී සිදුවෙයි. දෙවැනි මෙහෙයුම සිදුවනු ඇත්තේ පළමු අදියරේ සාර්ථකත්වය සමඟය.

පළමු අදියර යටතේ චීනයේ, ‘ලෝංග් මාච් 4 සී’ රොකට්ටුව කිලෝ ග්‍රෑම් 425 ක් බරැති ප්‍රතිවාරණ (රිලේ) චන්ද්‍රිකාව කිලෝ මීටර් 60,000 ක් සඳ පිටුපසට රැගෙන යෑම සිදුවෙයි. මෙම චන්ද්‍රිකාව සඳුගේ කක්ෂයට පිවිසෙනු ඇත.

එම කටයුතු සාර්ථක වුවහොත් දෙවැනි අදියර ආරම්භ වනු ඇත. එහිදී සඳ මතට යානා දෙකක් යැවෙයි. එයින් එකක් පතිතකරවන යානයකි. එම යානය සඳුගේ ඉලක්කය වී ඇත්තේ ගවේෂණයට ලක් නොවුණු සඳුගේ අඳුරු පැත්තය. යානය සඳුගේ දක්ෂිණ ධ්‍රැවය ප්‍රදේශය ආසන්නව පිහිටි ‘ඇට්කින්’ ද්‍රෝණිය යන නමින් නම් කෙරුණු කලාපයේ ගොඩබෑම සිදුවෙයි.

මෙම යානය තුළ සඳ මත එහෙමෙහෙ යා හැකි විදියේ රොබෝ රෝවර් යානයක් ඇත. මෙම යානය ඇට්කෙන් ද්‍රෝණිය සහ ආවාටය ගවේෂණය කරනු ඇත. පතිත කරන යානය සඳ මත පතිත කිරීම සිදුවනු ඇත්තේ කක්ෂයේ රැඳවූ රිලේ චන්ද්‍රිකාවේ ආධාරයෙනි.

රෝවර් යානය ඉතා සුවිශේෂී එකකි. ඡායාරූප ගැනීම, පස් සම්පල රැස් කර ඒවායේ දත්ත පෘථිවියට එවීම ආදිය එය සිදු කරයි. ඊට අමතරව සඳ මතුපිට ගෙවත්තක් පිහිටුවීමට අවශ්‍ය ආම්පන්න ද රෝවරය සතු වෙයි. අනාගතයේ දිනෙක මිනිසා සඳේ ජනපද පිහිටුවා ගනු ඇති බවත්, එහි පළමු අදියර මෙය වනු ඇති බවත් පැවැසෙයි.

සඳේ ඇත්තේ පස් සහ දූවිල පමණි. සඳට වායු ගෝලයක් නොමැත. කෙසේ නමුත් සඳේ ජල අංශු ඇති බවට ඉන්දියාව විසින් සොයා ගනු ලැබ ඇත. මෙය ඇමෙරිකාවේ නාසා ආයතනය පවා තහවුරු කර තිබේ. චීන විද්‍යාඥයන් පවසන්නේ කෘත්‍රිම තත්ත්වයන් යටතේ සඳ මතුපිට එළවළු සහ පළතුරු පිරි ගෙවත්තක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවය. කෙසේ නමුත් මෙවැන්නක් අද හෙට බලාපොරොත්තු විය නොහැකිය.

රෝවර් යානයේ විශේෂ ඇලුමිනියම් ලෝහයකින් නිර්මාණය කළ භාජනයක් ඇතුළත් වෙයි. එහි ශාක කිහිපයක බීජ, අර්තාපල් පමණක් නොව, විවිධාකාරයේ පට පණුවන්ගේ බිත්තර ද දමා තිබේ. පටපණු බිත්තරවලින් එළියට එන පටපණුවන්ට කාබන් ඩයොක්සයිඞ් නිර්මාණය කළ හැකි වෙයි. අර්තපල් සහ සෙසු බීජ ඇටවලින් ඔක්සිජන් නිකුත් කෙරේ. ඒ, ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ඔස්සේය. ඒ අනුව, සඳ මතුපිට සරල ජෛව පද්ධතියක් නිර්මාණය කර ගැනීමට විද්‍යාඥයන්ට හැකිවේවි.

ඬේලිමේල් ඇසුරිනි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top