ලෝකය

ඉන්දුනීසියාවෙන් හමු වූ පිරමීඩයේ අභිරහස

පිරමීඩ යැයි කී විට, පළමුවෙන්ම අප සිහියට නැගෙන්නේ ඊජිප්තු පිරමීඩය. ඊජිප්තුවේ පමණක් නොව, දකුණු ඇමෙරිකාවෙන් මෙන්ම, ආසියානු රටවලින් ද නටබුන් වුණු පිරමීඩ හමුවී තිබේ. පසුගිය දා ඉන්දුනීසියාවෙන් පුරාණ පිරමීඩයක නටබුන් සොයා ගැනුණි. ඊජිප්තුවේ පැරැණිතම පිරමීඩය ඉදිකළැයි පැවැසෙන්නේ අවුරුදු 5,000 කට පෙර ය. ඉන්දුනීසියාවෙන් හමුවී ඇති මෙම ඉපැරණි පිරමීඩයේ නටබුන් අවුරුදු 20,000 ක් පැරැණි යැයි පැවැසෙයි. ඒ අනුව, මෙම පිරමීඩය ඊජිප්තු පිරමීඩවලටත් වඩා පැරැණිය. 

හමුවුණු නටබුන් තවමත් පරීක්ෂා කෙරෙනවා. එම නටබුන් අවුරුදු 20,000 ක් පැරැණි යැයි පැවැසෙන්නේ මූලික පරීක්ෂණවලිනුයි. ඒ බව සියයට සියයක් තහවුරු වුවහොත් ඉතිහාසයට අලුත් පිටුවක් එක් වනු ඇතැයි භූගෝල විද්‍යාඥ ආචාර්ය ඩැනී හිල්මන් පවසයි. මෙම පිරමිඩයේ නටබුන් මුලින්ම හමුවී ඇත්තේ 1914 වසරේදීය. එහෙත් එය පිරමීඩයක් යැයි හඳුනා ගත්තේ ආචාර්ය ඩැනී හිල්මන් එම පරීක්ෂණවලට සම්බන්ධ වීමෙන් පසුවය.

‘ගන්උන්ග් පඩාන්’ හි ඇති මෙම නටබුන් දකින්න ලැබෙන්නේ ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට කිලෝ මීටර් 120 ක් දකුණින්ය. ඒ, මුහුදු මට්ටමේ සිට අඩි 2,903 ක් උසකිනි. ගිනි කඳු කිහිපයකට මැදි වී කෙසෙල් සහ තේ වතු මැද මෙම පුරාණ නටබුන් දකින්න ලැබේ. ගිනි කඳු පිපිරීම් නිසා නටබුන් ලාවා තට්ටුවලින් වැසී ඇති අතර, ආචාර්ය ඩැනී හිල්මන් විශ්වාස කරන්නේ පිරමීඩයේ විශාල ප්‍රමාණයක් පොළොව යට වැළැලී ඇති බවය.

පුරාණ ඉන්දුනීසියාවේ විසූ හිරු දෙවියන් වන්දනාමාන කළ ගෝත්‍රික වැසියන් මෙම පිරමීඩය නිර්මාණය කරන්න ඇති බවත්, එසේ කළේ සූර්ය දෙවි නමස්කාරය සඳහා වන්නට ඇති බවත් ඩැනී හිල්මන් පවසයි. එසේ නැතිනම් මෙය තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් ඉදිකරනු ලැබූ පිරමීඩයක් විය හැකි යැයි ද හිල්මන් පෙන්වා දෙයි.

යමහල් විශේෂඥ (ගිනිකඳු විශේෂඥ) සුටික්නෝ බ්‍රොන්ටෝ පවසන්නේ, හමුවුණැයි කියන මෙම නටබුන් පිරමීඩයක නටබුන් නොවන බවය. ඔහු පවසන්නේ මෙය ගිනි කඳු පිපිරීම්වලින් හටගත් ලාවා තට්ටු ගොඩ ගැසී නිර්මාණය වුණු ‘පිරමීඩයක්’ බවය. ‘මෙය ආදී ජනකොට්ඨාසයක් විසින් ඉදිකළ පිරමීඩයක් කියලා මා හිතන්නේ නැහැ. අවට ගිනි කඳු පිපිරීම් නිසාත් පාංශුඛාදන ක්‍රියාවලිය නිසාත් නිර්මාණය වුණු පිරමීඩයක් වෙන්න පුළුවන්’ යැයි සුටික්නෝ බ්‍රොන්ටෝ වැඩිදුරටත් කියා සිටී.

 

 

 

 

ලොව පළමු පිරමීඩය යැයි සැලකෙන්නේ ඊජිප්තුවේ දකින්න ලැබෙන පඩි පිරමීඩයයි. මෙම පිරමීඩයේ සැලැස්ම නිර්මාණය කරනු ලැබුවේ ඉම්හොටෙප් විසිනි. ඉම්හොටෙප් යනු වසර 4950 කට කලින් ජීවත් වූ මිසර පඬිවරයෙකි. ඔහු උපන්නේ මෙම්ෆිස් අසලය. ක්‍රි.පූ. 2980-2950 අතර කාලය තුළ මහා මෙහෙයක් කළ පුද්ගලයකේ බව ඉතිහාසයේ සඳහන් වෙයි. අද අප විද්‍යාඥයෙකු හැටියට හඳුන්වන විධියට ගැළපෙන ලෝකයේ පළමු විද්‍යාඥයා ලෙස සැලකෙන්නේ ඉම්හොටෙප්ය. මරණින් පසු මෙවැනි විද්‍යඥයෙකු තවත් අවුරුදු දෙදහසක් යන තෙක්ම ලෝකයේ පහළ වූයේ නැත.

ඉම්හොටෙප් පිළිබඳ මතක සටහන්වලට අනුව ඔහු විස්මිත දේවල් රැසක් කළ අයෙකි. ඔහු වටා ගෙතී ඇති කතා නිකම්ම ගෙතූ කතාන්දර නොවේ යැයි පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉම්හොටෙප් සතුවූ ලෙඩ සුව කරන බලය වඩාත් වැදගත් දෙය ලෙස සලකනු ලැබේ. ප්‍රවාදවලට අනුව ඔහු සතුව ලෙඩ රෝග සුව කිරීමේ මායා බලයක් තිබූ බව කියැවේ.

ටොලමික යුගයේදී මොහුව හඳුන්වන ලද්දේ වෙදකමට අධිපති මහ දෙවියන් වූ ටාග් :ගේ පුත්‍රයකු ලෙසය. සකාරා හි ඉදිකර ඇති නිසා මෙම පඩි පිරමීඩය සකාරා පිරමීඩය කියාද හැඳින් වෙයි. සකාරා පිරමීඩය ඉදිකළේ සෝසර් පාරාවන් වෙනුවෙන් කි.පූ. 2950 දීයි. ඉම්හොටෙප් සෝසර් රජතුමාගේ ප්‍රධාන උපදේශකවරයා ලෙස සේවය කළේය.

ලෝකයේ ඇති ඉපැරණිම පිරමීඩය වන්නේ මෙයයි. පුරාවිද්‍යාඥයන් කියන විදියට මෙම පිරමීඩයේ ඉදිකිරීම් කටයුතු හා නිර්මාණය ඉම්හොටෙප් අතින් සිදු කළා නම් ලෝක ඉතිහාසයේ එවැන්නක් කළ පළමු තැනැත්තා වන්නේ ද ඉම්හොටෙප්ය. මෙය පඩි පිරමීඩය ලෙස නම් කෙරෙන්නේ පාදමේ සිට මුදුනට යන තෙක් පඩි 6 ක ආකාරයෙන් නිර්මාණය කර තිබීමයි. ස්නෙෆෲ  රජු යනු කුෆූගේ පිය රජුය. ඔහුත් ඉතාමත් සුමට බිත්ති ඇති පිරමීඩ නිර්මාණය කරවා තිබේ.

මෙයින් එක් පිරමීඩයක් හැඳින්වෙන්නේ ‘ඇලවුණු පිරමීඩය’ කියාය. ඊට හේතුව එහි එක් පැත්තක් අනෙක් පැත්තට වඩා කුඩා වීමය. ඒ නිසා එය ඇලවී ඇති බවක් පෙන්නුම් කරයි. මෙවැනි රාජකීය පිරමීඩ 80 ක් පමණ මිසරයෙන් හමුවී තිබේ.

 

 

 

 

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top