හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික සෞඛ්‍ය 100% ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට දායකත්වය ලබාදීමට හැකි නම් ඔහුට යළිත් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ලබාදීමට තේරීම් කමිටුව සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි “දිවයින” ට වාර්තා වේ.
විටින් විට පාදයේ ආබාධයකට ලක්වන ඇන්ජලෝ මැතිව්ස්ට 2019 ලෝක කුසලාන තෙක් ඇති එක්දින තරග 28 ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබේද යන්න විශේෂ අවධානයකට යොමුව ඇති අතර භෞතචිකිත්සකවරයාගේ වාර්තාවද සැලකිල්ලට ගනිමින් යළිත් මැතිව්ස්ට නායකත්වය ලබාදීමට වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.
තරගවලදී පිතිකරුවකු පමණක් නොව පන්දු යෑවීමට මැතිව්ස්ට ඇති හැකියාව අනූව ඔහුට නායකත්වය ලබාදෙන අතර පිතිකරුවකු ලෙස පමණක් මැතිව්ස්ට කණ්ඩායමේ රැදී සිටීමට සිදුවුවහොත් දිනේෂ් චන්දිමාල්ව නායකත්වයට පත්කිරීමට තේරීම් කමිටුව සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාවේදී ආබාධයකට ලක්වූ අතර මේ වන විට ඔහු සුවය ලබා පුහුණුවීම් අරඹා තිබේ. හෙට (07 දා) දිනයේදී මැතිව්ස්ට විශේෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් තිබෙන අතර එහිදී ඔහු සමත් වුවහොත් බංග්ලාදේශ තුන්කොන් එක්දින තරගාවලියේ සිට නායකත්වයට පත්කරන බවද වැඩිදුරටත් වාර්තා වේ. යම් හෙයකින් මැතිව්ස්ට පන්දු යෑවීමට නොහැකි වුවහොත් ඔහුට නායකත්වය දීම සම්බන්ධයෙන් ක්‍රිකට් බළධාරීන් දෙගිඩියාවෙන් පසුවන බවත් 8 වැනිදා වන විට ස්ථිර නායකයා මැතිව්ස් හෝ චන්දිමාල් බවට නම් කිරීමට නියමිතව තිබේ.
පෙරේදා තේරීම් කමිටුව, පුහුණුකරු සහ ක්‍රිකට් බළධාරීන් අතර නායකත්වය පිළිබඳවද සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී චන්දික හතුරුසිංහට තවදුරටත් ඔහුට අවශ්‍ය නායකයා කවුරුන්ද යන්න තේරීම් කමිටුවට දන්වන ලෙසට පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිය සංශෝධනය කරමින් හතුරුසිංහට තේරීම් කමිටු සාමාජිකයකු ලෙස මැදිහත්වීමේ අයිතියද ලැබී තිබේ.
උපුටා ගැනීම දිවයින