වසර 2025 වන විට ළමා ජනගහනයෙන් සෑම තුන් දෙනකුගෙන් එක් අයකුගේම ආයු කාලය අවුරුදු 35 ක් දක්වා සීමා වනු ඇතැයි ජාත්‍යන්තර දියවැඩියා සංගමයේ නිර්මාතෘ පෝල් සීමන් මහතා පෙන්වා දී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි.
මේ අනුව ලොව පුරා අවාසනාවන්ත දෙමාපිය යුගය මේ වන විට බිහිවෙමින් පවතින බව ඔහු පෙන්වා දෙන අතර දෙමාපියන්ගේ දෑස් ඉදිරිපිටම තම දරුවන් වළ දැමීමේ කාලය ආරම්භ වෙමින් පවතින බව ඔහු අවධාරණය කර ඇතැයි වෛද්‍ය පාදෙනිය සඳහන් කරයි.
දැනට දරුවන් පවත්වාගෙන යන ජීවන රටාව හා ආහාර රටාව මේ අවාසනාවන්ත තත්ත්වය උදාවීමට හේතුවී ඇතැයි වෛද්‍ය පාදෙනිය පෙන්වා දේ.
විස රසායනිකයන් යෙදූ ධන්‍ය වර්ග පරිභෝජනය කිරීම, එළවලු හා පලතුරු අඩුවෙන් ආහාරයට ගැනීම, වතුර පානය සීමා වීම, පැණි බිම වැඩි වශයෙන් පානය කිරීම, ලුණු සීනි සහ තෙල් අධික ලෙස ආහාරයට එකතු කිරීම මෙන්ම ව්‍යායාම, ක්‍රීඩා, කලාව, භාවනාව වැනි ක්‍රියාවන්ගෙන් ඈත්වීම දරුවන්ගේ ආයු කාලය මෙසේ පහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි පෝල් සීමන් පෙන්වා දී ඇතැයිද වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ දරුවන් හය දෙනකුගෙන් එක් අයකු ස්ථුල භාවයෙන් හෝ අධිබරින් යුක්ත වන බවත් අක්මාවේ තෙල් තැන්පත් වීමේ ප්‍රතිශතය ඉහළ යමින් පවතින බවත් හෙළිව ඇතැයිද විශේෂඥවරයා පෙන්වා දේ.
දරුවන්ව නිවැරදි ආහාර රටාවකට හා ජීවන රටාවකට යොමු කිරීම මගින් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකිවනු ඇතැයිද වෛද්‍ය පාදෙනිය මහතා අවධාරණය කරයි.