වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කොට ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ගයකින් ‘දිවයින’ ට වාර්තා වේ.
ලසිත් මාලිංග පසුගිය කාලයේදී පන්දු යෑවීමෙන් සහ පන්දු රැකීමෙන් දක්‌වන ලද දක්‍ෂතා සෑහීමකට පත්විය නොහැකි වීමෙන් සහ ඔහුගේ සුපුරුදු තරග ශෛලියට අවතීර්ණ නොවීම යන කරුණු සලකා බලා තවදුරටත් කණ්‌ඩායමේ ස්‌ථානය ලබා නොදීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
‘මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව සහ ඔහුගේ දක්‍ෂතා තවමත් සුපුරුදු පරිදි නැහැ. අපි බලනවා ඔහුගේ තත්ත්වය.’ යනුවෙන් ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ඉහළ නිලධාරියකු ‘දිවයින’ ට පැවසීය.
ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය ඊයේ සවස් වනතුරුත් ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කොට නොතිබූ අතර ඇමැතිවරයා ඊයේ රාත්‍රියේදී විදෙස් සංචාරයකට සහභාගි වීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්‌සයි විස්‌ස තරග 68 කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහිදී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 90 කි. පන්දු ඕවරයකට දළ ලකුණු 7.36 ක් ලබාදී ඇති අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 19.77 කි. කෙසේ වෙතත් මාලිංග ක්‍රීඩා කළ අවසන් විස්‌සයි විස්‌ස තරග දහයේදී කඩුලු 21 ක් දවා ගැනීමට සමත්ව තිබේ. නමුත් ඔහුගේ පන්දු ඕවරයකට දළ ලකුණු අටකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිවාදීන් ලබා ගැනීම, පන්දු රැකීම සහ ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගනිමින් විස්‌සයි විස්‌ස සංචිතයේ ස්‌ථානය අහිමිව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් ඉන්දියාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට තවදුරටත් ප්‍රමාද වී තිබේ.
අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ ලසිත් මාලිංගව එළැඹෙන තරගවාරයේ සිට වෙන්දේසියට ඇතුළත් කර තිබේ. ඊට හේතුව වී ඇත්තේ ඔහුගේ වත්මන් දක්‍ෂතා සලකා බැලීම බව අයි.පී.එල්. සංවිධායකන් පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගය ලබන 20 වැනිදා කට්‌ටක් හිදී ආරම්භ වේ.
උපුටා ගැනීම දිවයින පත්තරය