gossip

facebook එන එක මානසික ලෙඩක්ද ?

ඔබටත් ෆේස් බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය කීයක් ගතකරනවාද? ඒ කාලය තුළ ඔබ කොතරම් ෆෝස්ටු ඊට ඒ කරනවාද? ඒ ෆෝස්ටු වලට ඇතුලත් වන්නේ මොනවාද? ඒවාට ලැබෙන ප්‍රතිචාර කෙතරම් ඉහළ මට්ටමක තිබෙනවාද?

මා ඉහත විමසූ ප්‍රශ්න වලට ඔබගෙන් විවිධ පිළිතුරු ලද හැකිය. එහෙත් ඔබ භාවිතා කරන ෆේස් බුක් වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය ඔබගේ මානසික සෞඛ්‍යයේ කැඩපතක් සේ සමාජයට හැඟී යා හැකි බව ඔබ නිකමටවත් හිතුවාද?

ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතය මගින් මානසික සෞඛ්‍ය පිළිබඳව සෘජු යමක් කිව නොහැකි වුවද එය භාවිතා කරන ආකාරයෙන් ඔබ පිළිබඳව ඔබ නොදත්; ඔබ නොසිතන බොහෝ දේ අන් අයට කීමට පුළුවන.

දවසේ වැඩිම වේලාවක් ෆේස්බුක් වෙබ් අඩවියේ රැඳී සිටීම; ඒවායේ ඇති පෝස්ටු විමසමින් ඒවාට Like සහ Comment දැමීම මූලික මානසික අර්බුදයක් සේ සැලකිය නොහැක. එහෙත් ෆේස්බුක් වෙබ් අඩවියෙන් බැහැරව සිටිය නොහැකිව යළි යළිත් ෆේස්බුක් වෙබ් අඩවියට යොමු වීමට ඔබේ සිත බලකරයි නම් එය ෆේස්බුක් ඇබ්බැහියාව (Face book Addiction)ලෙස හඳුනාගත හැක.

Face book Addictionයනුවෙන් මානසික රෝගයක් හෝ අර්බුදයක් නොමැති වුවත් යමක් කෙරෙහි දක්වන ඇබ්බැහියාව මානසික අර්බුධයක හෝ මානසික රෝගයක ලක්ෂණයක් ලෙස ගත හැකි අතර එසේ නොවුනද එය යමෙකුගේ මානසික සමතුලිත තාවයට බරපතල හානි පමුණුවන්නක් බව කිව යුතුය.

සමහරුන් තමන්ගේ ෆේස්බුක් වෙබ් අඩවිය මගින් තමන් පිළිබඳ කරුණු අසීමාන්තික ලෙස සමාජගත කිරීමට උත්සාහ දරයි. ගමනක් බිමනක් යාමට හැඩ වැඩ වී‍මේ දී තමන්ගේ ඡායාරූපයක් ෆේස්බුක් වෙබ් අඩවියට දමා එහි දී අන්යන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන්නෝ බොහේ දෙනෙක් සිටිති. එමෙන්ම තමන්ගේ නිදන කාමරයේ යහන තිබූ තැන වෙනස් කළ පසුවද එහි ජායාරූපයක් ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුල්කරන්නන් වරින් වර දැකිය හැක.

සාමාන්‍යයෙන් අප ගමනක් බිමනක් යාමට විශේෂ ඇඳුමක් ඇද මඟට බසින විට මේ ඇඳුමට මම ලස්සන දැයි ඉදිරියට හමුවන්නවුන්ගෙන් අසන්නේ නැත; එහෙත් සමහරෙක් ෆේස්බුක් වෙබ් අඩවිය මඟින් ඒ දේ එලෙසම කරති. මෙලෙස තමන් පිළිබඳව අති පෞද්ගලික දෑ සමාජගත කිරීම මූලික වශයෙන් වරදක් නොවුවද නිතර නිතර එවැනි දේ කෙරෙහි යොමු වීම ඒ තැනැත්තාගේ පෞරුෂය පිළිබඳව දෙවරක් සිතා බැලීමට අප පොළඹවනු ඇත.

එලෙස තමන් පිළිබඳව සීමාව ඉක්මවා සිතීම සහ අන්‍යයන් පහත් කොට තැකීම ආත්මරාගී පෞරුෂ ආබාධය (Narcissistic Personality Disorder) නම් මානසික අර්බුධයේ ලක්ෂණයකි. එහෙත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක විශ්ලේෂණය කිරීමට නම් ඒ තැනැත්තා සායනික මනෝ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි කළ යුතු බවද කිව යුතුයි.

මේ අතරේ සමාජයේ ප්‍රකට පුද්ගලයන් ප්‍රබල සංවිධාන දැඩි ලෙස විවේචනය කිරීම ද ෆේස්බුක් වෙබ් අඩවියේ බහුලව දැකිය හැකිය. එම විවේචන ඇතැම් විට සාධාරණ වන අතර තවත් බොහෝ විවේචන වලින් ඒ සාධාරනත්වය ඉක්මවා එම මත පළකරන්නවුන්ගේ ද්වේෂය ඉස්මතුවෙයි.

විවිධ ප්‍රකට පුද්ගලයන්ට සහ ප්‍රබල සමාජ සංවිධාන වලට දැඩිව පහරදීම ෆේස්බුක් වෙබ් අඩවිය මගින් නිතරම කරන්නේ නම් හෝ එමගින් පළවන අදහස් වලට වඩා ඒ පුද්ගලයාගේ ද්වේශය ඉස්මතුවන්නේ නම් එය ඔහුගේ මානසික අර්බුදයක් ලෙසට මූලික වශයෙන් අනුමාන කළ හැකිය. මෙය සමාජ විරෝධී පෞරුෂ ආබාධය නම් මානසික අර්බුධයේ ලක්ෂණයක් ද විය හැකි අතර එහෙත් යමෙක් තුළ එවන් තත්ත්වයන් තිබේ දැයි නිශ්චයකට පැමිණිය හැක්කේ ද සායනික මනෝ වෛද්‍ය පරීක්ෂණයකින් පමණි.

මීට අමතරව සමහරුන් ගේ ෆේස්බුක් පෝස්ටු කෙරෙහි බොහේ දෙනෙක් උරණවන අවස්ථා සහ ෆේස්බුක් හිමියා ඔවුන් සමග Reply අමුතිත්ත කුණුහරපෙන් බැණ ගන්න අවස්ථා පවා අපිට දැක ගත හැකිය. ෆේස්බුක් වෙබ් අඩවිය ඒ සියළු දේ සඳහා විවෘත්ත අවකාශයක් ලබා දී ඇති බව නොරහසකි. එහෙත් ප්‍රසිද්ධියේ තම දෙමාපිය ඥාතිමිත්‍රාදීන් ඉදිරියේ ෆේස්බුක් වෙබ් අඩවිය තුළින් අසභ්‍ය වචනින් බැණ ගැනීමෙන් ඒවා ඒ සියළු දෙනාටම දැනගැනීමේ විවෘත අවකාශයක් සලසති. මේ අතර තවත් සමහරු විරූපී, අස්වාභාවික, විකෘති ආදී ඡායාරූප තම ෆේස්බුක් අඩවියට ඇතුල්කර ගනු දක්නට ලැබේ.

මෘත දේහයක් පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන චායාරූපයක් පළකොට සංසාරේ හැටි මෙහෙම තමා යනුවෙන් වදනක් ද එයට එක් කරන විට එහි කිසියම් යුක්ති සහගත බවක් දැක ගත හැක. ඒ සමගම දැඩිව විරූපී පුද්ගලයෙකුගේ රූපයක් පළ කොට ඒ සමග මේ අසරණයාට පිහිට වන්න යනුවෙන් සඳහන් කිරීමෙන් ද එහි කිසියම් සාධාරණත්වයක් ඇතැයි අපට හැ‍ගෙනු ඇත. එහෙත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පැරණි පෝස්ටු එකිනෙක විමසා බැලීමේ දී එහි ඇති ඡායාරූප වලින් වැඩි ප්‍රමාණයක් එවැනි විකෘති සහ විරූපී අස්වාභාවික ඡායාරූපය.

කිසියම් නිශ්චිත අරමුණක් මුල්කොට එවැනි ‍විකෘර්ති ඡායාරූපයක් ෆේස්බුක් අඩවියට එක් කිරීමෙන් වරදක් නැත. එහෙත් සමාජ මාධ්‍යක් වන එය බොහෝ දෙනෙකුගේ නෙත ගැටෙන බැවින් එවැන්නක් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කිරීමට පෙර නැවත සිතා බැලිය යුතුය. නමුදු අත්‍යාවශම කරුණක දී නම් එහි කිසියම් වරදක් නැති බව ‍යමෙකුට හැඟී යා හැක.

එහෙත් කිසියම් පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුම තුළ විවිධ කරුණු මතු කරමින් එවැනි විරූපී, විකෘර්ති, අස්වාභාවික ඡායාරූප නිතර නිතර ඇතුළත් කොට ඇත්නම් එමගින් ඒ තැනැත්තාගේ මානසික බිඳ වැටීමක් මානසික අර්බුදයක් නැතහොත් මානසික රෝගයක් ඇති බව මූලික වශයෙන් අනුමාන කළ හැක.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top