gossip

පිටසක්වලින් ආ අමුත්තා

පිටසක්වළ ජීවීන් ඇතිදැයි විමසිල්ලෙන්, පිටසක්වළ යානා ගැන උනන්දුවෙන් විශ්වයට නෙත් හෙළා බලා සිටින තාරකා විද්‍යාඥයන්ට පසුගිය ඔක්තෝබර් 19 වැනිදා අමුතු හැඩයකින් යුත් ආගන්තුක වස්තුවක් දකින්න ලැබුණි.

දිගැටි හැඩයකින් යුත්, දම් සහ කළු පැහැති මේ වස්තුව, ඇස්ටරොයිඩයක් එසේත් නැතිනම් ග්‍රහකයක් විය. මෙහි ඇති විශේෂත්වය නම්, මේ ග්‍රහකයේ අසාමාන්‍ය පෙනුම පමණක් නොව, ග්‍රහකය අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූයේත්, ඉන්පසු සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළේත් වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක සිට වීමය.

ග්‍රහකය ගැන විස්තර සොයා බැලූ විද්‍යාඥයන් පැහැදිලි කළේ, එය අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන්, අප සෞරග්‍රහ මණ්ඩලයට ඉතාමත් සමාන සෞරග්‍රහ මණ්ඩලයකින් පැමිණි අභ්‍යවකාශ වස්තුවක් කියාය. ග්‍රහකය මුලින්ම දකින්න ලැබුණේ ඇමෙරිකාවට අයත් හවායි දූපත් තාරකා විද්‍යාඥයන්ටය. ඒ අනුව ඔවුන් ග්‍රහකය නම් කළේ ‘ඔමුආමුවා’ යන නමිනි. ඒ, හවායි බසිනි. හවායි බසින් ‘ඔමුආමුවා’ යන්නෙහි අර්ථය ‘දුර ඈතින් ආ පළමු පණිවුඩකරුවා’ යන්නය.

බැලූ බැල්මට යෝධ සුරුට්ටුවක් සිහිගන්වන මෙම ග්‍රහකය වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකින් පැමිණියේ යැයි විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත්තේ එය ආ ගමන් මඟත්, එය අප සෞරග්‍රහ මණ්ඩලය පසු කර ගිය ගමන් මඟත් ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් පසුවය.

‘ඔමුආමුවා’ ග්‍රහකය මීටර් 400 ක් දිගින් යුක්තය. මෙතරම් දැවැන්ත ග්‍රහකයක් මීට පෙර දකින්න ලැබී නැතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. ග්‍රහකයේ අසාමාන්‍ය දිගැටි හැඩය විද්‍යාඥයන් මවිතයට පත් කිරීමට ද සමත් වී තිබේ. හේතුව, මෙය අප සෞරග්‍රහ මණ්ඩලයේ දකින්න ලැබෙන ග්‍රහකවලින් වෙනස් වීමය. වෙනත් ග්‍රහමණ්ඩල නිර්මාණය වුණේ කෙසේදැයි යන්න දැන ගැනීමට මෙවැනි ග්‍රහක උපකාරී වන බව ද විද්‍යාඥයෝ කියති. විද්‍යාඥයන් වැඩි දුරටත් පවසන්නේ ‘ඔමුආමුවා’ අප සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරැණි ග්‍රහ වස්තුවක් කියාය.

‘ඔමුආමුවා’ ග්‍රහකය අධ්‍යයනයට ඇමෙරිකාවේ නාසා ආයතනය ඔවුන් සතු සියලු පහසුකම් යෙදවූ බව වාර්තා වේ. ‘ඔමුආමුවා’ ග්‍රහකය දැක ගැනීමට මුලින්ම සමත් වූයේ හවායි දූපත්හි පිහිටුවා ඇති ‘පැන් ස්ටාර්ස්’ දුරේක්ෂයටය. ග්‍රහකය නිරීක්ෂණය කරමින් ඒ ගැන පළමුවෙන් වාර්තා සටහන් කළේ තාරකා විද්‍යාඥ කැරන් මීච් ඇතුළු විද්‍යාඥ කණ්ඩායමය. ඉන්පසු ‘ඔමුආමුවා’ වඩාත් හොඳින් අධ්‍යනය කිරීමට කැනේරී දූපත්වල පිහිටුවා ඇති ‘නෝර්ඩික් ඔප්ටිකල්’ දුරේක්ෂයත්, ඇරිසෝනියාවේ ටුස්කන්හි පිහිටුවා ඇති ‘කිට් පීක්’ දුරේක්ෂයත් හවුල් කර ගත්තේ යැයි ද පැවැසෙයි.

‘ඔමුආමුවා’ ග්‍රහකය සම්බන්ධ සියලු තොරතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වූයේ පසුගිය නොවැම්බර් 20 වැනිදාය. ඒ, ග්‍රහකය ගැන සවිස්තරාත්මක ලිපියක් ‘නේචර්’ විද්‍යා සඟරාවේ පළවීමෙන් පසුවය. ග්‍රහකය අප සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථයේ එසේත් නැතිනම් කිරි සයුරේ එහෙ මෙහෙ අවුරුදු මිලියන සිය ගණනක් ගමන් කරමින් සිටින්න ඇති බවත් එය දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලය පසු කර ගිය බවත් විද්‍යාඥයෝ කියති.

‘දශක ගණනාවක් තිස්සේ අප අදහස් පළ කර තිබුණා තාරකාන්තර එසේත් නැතිනම් තරු අතර මෙවැනි ඇති වස්තූන් ඇති බව. ඒ ගැන දැන් අපට පැහැදිලි සාක්ෂියක් ලැබී තිබෙනවා. අප දැනුවත්ව අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආ තාරකාන්තර වස්තුව මෙයයි. ඒ නිසා මේක සැබැවින්ම ඓතිහාසික අවස්ථාවක්. අපේ සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිරව ඇති ග්‍රහමණ්ඩලයක් ගැන අධ්‍යනය කරන්න ලැබුණු හොඳ අවස්ථාවක්’ යැයි නාසා විද්‍යා මෙහෙයුම් අධීක්ෂණ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී තෝමස් සුර්බූකන් පැහැදිලි කරයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top