ලෝකය

පෙම් පලහිලව්වකින් පටන්ගත් පලමුවන ලෝක යුද්ධය

ආදරයයි වෛරයයි යන ද්විමානසිකත්වය එකම මනෝමූලයක උපත ලබන උල්පත් දෙකක් බැව් ශාස්තෘවරයන් හා මනෝ විද්‍යාඥයන් විසින් අපට කියා දී ඇත. එකම මූලයකින් පැනනගින එම උල්පත් දෙකම මහෝඝයක් බවට පෙරළී ලෝකය දිනීමටත් වැනසීමටත් එක හා සමාන තරමට ප්‍රබල වන බවට ඓතිහාසික සාධක එමට සොයාගත හැක. මානව ඉතිහාසය උඩුයටිකුරු කළ එවන් අත්දැකීම් ප්‍රේමය, දයාව, සෙනෙහස, ආදරය මෙන්ම වෛරය, ක්‍රෝධය, රුදුරු බව හා බල තන්හාව වැනි මානසික පැතිකඩ මත ප්‍රායෝගිකව ලෝකය විසින් අත්දැක ඇත.

ඔස්ට්‍රියාවේ ඔටුන්නට හිමිකම් කියූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා ප්‍රේම පූජාසනය මත සිය රාජකීය උරුමය පුද දෙන්නට වුව නොපැකිලුණු දහනවවන ශතවර්ෂයේ ආරම්භයේ විසූ චරිතයක් විය. ඔහුගේ ප්‍රේම අන්දරය මුළු ලෝකයම දවා හළු කරන්නට සමත් වූයේ යැයි පැවැසීම බොරුවක් නොවේ.

1800 දශකයේ මැද හා අග සිට එතෙක් මතෛක් ලෝකය පාලනය කළ රාජාණ්ඩු ක්‍රමය අනුක්‍රමයෙන් සමූහාණ්ඩු ක්‍රමවේදයකට හෝ විසිරුණු බලතල සහිත පාලන රටාවකට තල්ලු වී යෑමේ ප්‍රවණතාවය වැඩිවන්නට විය.

එසේ ගරාවැටුණු ඓතිහාසික රජ මාලිගාවකට උරුමකම් කීමට ඔස්ට්‍රියාවේ ප්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් නම් ආදිපාදවරයාට ද අවස්ථාව උදාවිනි. ඔහු ඔස්ට්‍රියා හංගේරියානු මහ අදිරජ ෆ්‍රාන්ස් ජෝසෆ්ගේ බාල මලනුවන්ගේ වැඩිමහල් පුත්‍රයා විය. ෆ්‍රාන්ස් ජෝසෆ් රෝම මහාධිරාජ්‍යයේ ප්‍රබල සාමාජිකයෙකි.

මහාධිරාජයාගේ පුතු ‘රුඩොල්ෆ්’ නම් ඔටුන්න හිමි රාජකුමාරයා හෙළිදරව් නොවූ හේතුවක් මත සියදිවි නසාගනු ලැබිය. ඒ අතරට හදිසියේ වැලඳුණු උණ සන්නිපාත රෝගයෙන් මහාධිරාජයා ද මරු වැලඳ ගනු ලැබුවේය. සමපාත සිදුවීම් රැසක ප්‍රතිඵලයක් ලෙස සිංහාසනයට උරුමකම් කීමේ වාසනාව උදා වූ එකම පුද්ගලයා වූයේ ෆ්‍රාන්ස් ෆර්දිනන්ඩ් ආදිපාදවරයා පමණි.
යුරෝපයේ මහා බල පරාක්‍රමයකින් ඔදවැඩුණු ඔස්ට්‍රියා හංගේරියානු මහාධිරාජයාගේ කිරුළ ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ට පැවැරීමට නියමිතව තිබුණේ 1896 දීය.

ඔස්ට්‍රියා හංගේරියානු රාජ්‍යය විවිධ ජාතීන්ගේ සංකලනයකින් බිහි වූ ජනවාර්ගික රාජාණ්ඩුවකි. එහෙත් රාජ්‍ය බලය හිමිවිය යුත්තේ රාජකීය පරම්පරාවෙන් පැවැත එන පවු‍ලේ සාමාජිකයන්ට පමණි. රාජකීය සාමාජිකාවක හෝ සාමාජිකයෙකු රාජකීය පවුලෙන් බැහැරව සිදු කරගන්නා සරණ මංගල්‍යයක් හේතුවෙන් ඔහුට හෝ ඇයට රාජකීය කිරුළට උරුමකම් කීමේ වරම හිමි වන්නේ නැත.

කෙසේ වුවද ඔස්ට්‍රියා හංගේරියානු රාජකීය වංශවත් පවුලට නොගෑවුණු ජර්මානු ජාතික සොෆියා චෝටෙක් නම් වංශවත් තරුණියක හා පෙමින් වෙළුණු ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් දිනූ ප්‍රේම රාජ්‍යයේ කිරුළෙන් සෑහීමට පත්වූයේය.

එළඹෙන රාජාභිෂේක මංගල්‍යයත් සමග ෆ්‍රාන්ස් ආදිපාදවරයාට සිය ප්‍රේමවන්තිය සමග මතෛක් රාජකීය පවුලෙන් වසන් වෙමින් රඟපෑ ප්‍රේම රංගනය රජ පවුල අභියස රඟ දක්වා පෙන්වන්නට සිදු විය. සාම්ප්‍රදායික ඇවතුම් පැවැතුම් අනුව එම ප්‍රේම සම්බන්ධතාවය රජ පවුල විසින් එතෙක් රැකගෙන ආ කීර්තියට හා නම්බුවට කැළලක් වන අතර රාජ උදහසට පවා ලක්විය හැකි සම්ප්‍රදාය විරෝධී ක්‍රියාවක් බව ප්‍රාන්ස් ද දැන සිටියේය.

ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාගේ කැමැත්ත නොපිළිගත් ඔස්ට්‍රියානු හංගේරියානු අධිරාජයා ජර්මානු ජාතික සොෆියා චෝටෙක් හා අතිනත් ගැනීමට එකහෙලා විරුද්ධ විය. මෙහිදී අවසාන වූයේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ට හෝ බිරිඳ සොෆියා චෝටෙක්ගේ කිසිදු ‍ලේ ඥාතියෙකුට ඔස්ට්‍රියා හංගේරියානු කිරුළට උරුමකම් කිව නොහැකි බවය.

මහජන මතය වූයේද ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ගේ හැසිරීම වැරදි බවයි. බහු භාෂා බහු වාර්ගික රාජ්‍යයක් වූ ඔස්ට්‍රියා හංගේරියානු අධිරාජ්‍යයේ පාලිතයන් හට මහජන මතයට එරෙහිවීම උඩුගං බලා පිහිනීමක් වැන්න. එහෙත් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා මහජන මතයට හා පාලිතයන්ගේ මතයට පිටු පා ජර්මානු ජාතික සොෆියා චෝටෙක්ව රජමාලිගයට කැඳවාගෙන ඒමට කිසිදු මැලිකමක් නොදැක්වීය.

සමාජවාදී අදහස්වලින් යුත් ෆ්‍රාන්ස් රටේ සෑම පුරවැසියෙකුටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතු යැයි හඬනගමින් සිංහාසනය මත කේන්ද්‍රගතව ඇති බලතල බෙදීයන ආකාරයේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ මතිමතාන්තර පාලිතයන්ගේ අවධානයට යොමු කිරීමට උත්සාහ ගනු ලැබිය. අනෙකුත් ප්‍රභූ පාලිතයන් දැඩි විරෝධතාවන් ගොනු කළ අතර ෆ්‍රාන්ස් ෆ්‍රාර්ඩිනන්ඩ් ආදිපාදවරයා පාලනාධිකාරියෙන් ඉවත් කිරීමේ මං සොයමින් සිටියහ.

ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් සහිත ඔස්ට්‍රියානු එක්සත් ජනපදයක් පිහිටුවීමේ අදහසට දැඩිව විරුද්ධත්වය පළකළ සර්බියානු ප්‍රාන්තය ඒ වනවිට ඔස්ට්‍රියා හංගේරියානු රාජාණ්ඩුවෙන් මිදී ස්වාධීන රජයක් සඳහා පිඹුරුපත් සකසමින් සිටි අවධියයි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සර්බියානුවන් හා එක් වූ ඔස්ට්‍රියා බහු බාෂික බහු වාර්ගික ප්‍රභූන්ගේ අදහස් ඉටු කරමින් ෆ්‍රාන්ස් ආදිපාදවරයා සමග ඔහුගේ දයාබර බිරිඳ සොෆියා චෝටෙක් 1914 ජුනි 28 වන දින බොස්නියාවේ සරාවෝ නුවර මහමග මරා දමනු ලැබූහ.

ෆ්‍රාන්ස් ආදිපාදවරයාගේ ඝාතනයත් සමග ඔස්ට්‍රියා රාජ්‍ය මගින් සර්බියාවට එරෙහිව යුද වැදීමට තීරණය කෙරිණි. සර්බියා හිතවතෙකු වූ රුසියානුවන් ඔස්ට්‍රියා හංගේරියාවට එරෙහිව යුද ප්‍රකාශ කළේය. ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් ආදිපාදවරයාගේ ජර්මානු පෙම්වතිගේ ජන්ම භූමිය වන ජර්මනියට හා ඔස්ට්‍රියා හංගේරියා රජයන්ට එරෙහිව ප්‍රංශය හා බ්‍රිතාන්‍යද යුද වැදීමට තීරණය කෙරිණි. හරියටම ෆ්‍රාන්ස් ෆ්‍රර්ඩිනන්ඩ්ගේ ඝාතනයෙන් මසක් ගිය තැන එනම් 1914 ජූලි 28 වන දින පළමුවන ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙන්නට විය. ආදරය සමග අත්වැල් බැඳ ආ වෛරය එක හා සමානව බලවත් විය.

ෆ්‍රාන්ස් ආදිපාදවරයා වරක් 400ක නාවිකයන් සමග මාස දහයක ලොව වටා මුහුදු චාරිකාවක යෙදෙන අතරේ 1893 ජනවාරි 11 දින ලංකාවට ගොඩ බැස ඇත. අනුරාධපුර කලාවැව ආශ්‍රිත වනාන්තරවල සැරිසැරූ ඔහු අප දිවයිනේ අලි සම්පත හා බිහිසුණු විනෝද ක්‍රීඩාවක පවා නිරත වූ බවට ලිඛිත සේයාරූ සටහන් හමුවී තිබේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top