ක්‍රිඩා

ඉන්දු ශ්‍රි ලංකා 20-20 සටන අද

ගෙවී යන වසරේ ජයග්‍රාහී ගොඩ වැඩිකර ගැනීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම වසරේ අවසන් එක්‌දින තරගාවලිය සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුව සහිතව ඉන්දියාව සමග විස්‌සයි විස්‌ස තරගාවලියට මුහුණ දෙයි. දෙරට අතර තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගය අද කට්‌ටක්‌ හිදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.7.00 ට ආරම්භ වේ.

ඉන්දියාව සමග පැවැති එක්‌දින තරගාවලියද 2-1 ක්‌ ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව 2017 වසරේ සහභාගි වූ පන්දුවාර පනහ එක්‌දින තරග 29 කින් 23 ක්‌ම පරාජය වී ජය ගෙන ඇත්තේ තරග පහක්‌ පමණි. මේ වසරේ විස්‌සයි විස්‌ස තරග 12 කදී හතක්‌ පරාජය වූ ශ්‍රී ලංකාව තරග පහක්‌ ජය ගෙන තිබේ. කෙසේ වෙතත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් අවසන් වරට පාකිස්‌තානය සමග පැවැති විස්‌සයි විස්‌ස තරගාවලිය 3-0 ක්‌ වශයෙන් ශ්‍රී ලංකාව පරාජය විය. නමුත් ඉන්දියානුවන් මේ වසරේ සහභාගි වූ විස්‌සයි විස්‌ස තරග 10 කදී හයක්‌ම ජය ගෙන ඇති අතර මෙවර තරගාවලියට නිත්‍ය නායක විරාට්‌ කෝලිද නොමැතිවීම ශ්‍රී ලංකාවට සැනසුම් සුසුමක්‌ හෙළීමට අවකාශයක්‌ වනු ඇත.

‘අපේ ක්‍රීඩකයන් එකම වැරැද්ද කරනවා.’ යෑයි ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු නික්‌ පෝතාස්‌ පැවසුවේ තමන්ගේ ක්‍රීඩකයන් රැල කොතරම් කෑ මොර දුන්නද, යන්නේ වැරදි පාරේ බව මතක්‌ කරමිනි. එබැවින් වසරේ අවසානයේ හෝ සැනසීමක්‌ ලැබීමට නම් ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස තරගාවලිය ජය ගැනීම අනිවාර්ය වනු ඇත.

මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා පිල නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ පුහුණු වන අතර නික්‌ පෝතාස්‌ පවසන්නේ හතුරුසිංහට තමාගේ උපරිම සහය දෙන බවයි. නමුත් එකම වැරදි ගොඩේ එල්ලී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගාවලියේදී හෝ එය හදා ගැනීමට සමත් වුවහොත් ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවේදි කුමන තරගාවලියක්‌ හෝ ජය ගැනීමේ වාසනාව ලැබෙනු ඇත.

වත්මන් විස්‌සයි විස්‌ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අටවැනි ස්‌ථානයේ සිටින අතර ඉන්දියාව එහි පස්‌වැනි ස්‌ථානයේ පසුවේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තද ප්‍රසාද ලකුණු සටහනේ ස්‌ථානය එලෙසම පවතින නමුත් ඉන්දියාව ජය ගතහොත් සිව්වැනි තැනට පත්වේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top