එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර තිබේ.
ඊයේ(24) රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී මෙම එකඟතාව පල කර ඇති බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
අරලියගහ මන්දීරයේ පැවැති එම සාකච්ඡාව සදහා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට අමතරව කබීර් හෂිම්, රවී කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිට ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළු කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට රැස්විමට නියමිතව තිබේ.
හෙට පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විමට නියමිතයි.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සදහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අද දෙරණට සදහන් කළේය.
අනිත් අයටත් බලන්න share කරන්න
උපුටා ගැනීම Derana News