දැනුම

රන්තම්බෝර් හි රැජින හෙවත් මච්ලි

රන්තම්බෝර් හි රැජින හෙවත් මච්ලි

Image may contain: outdoor

මච්ලි? කවුද මේ මච්ලි? ලෝකෙ මිලියන ගානක් ආදරේ කරපු එක්තරා විදිහකින් ඉන්දියාවට අයිකන් එකක් උන මච්ලි කියන්නෙ ඉන්දියාවේ රාජස්ථානයේ රන්තම්බෝර් ජාතික වනෝද්‍යානයේ ජීවත් උන ව්‍යාඝ්‍ර දේනුවක්. මෙයා විශේෂ වෙන්න හේතු ගානක් තිබ්බා වගේම ලෝකෙ ප්‍රසිද්ධ වෙන්න හේතු ගණනාවක් බලපෑවා. මච්ලිට එරට වනජීවි බලධාරීන් දීල තිබ්බ කෝඩ් එක උනේ T 16 කියන අංකය.

මච්ලි 1996 මැයි මාසෙ තමයි ඉපදුනෙ. මච්ලිගෙ අම්මා මච්ලි I ලෙස හදුන්වපු ව්‍යාඝ්‍ර දේනුව. මච්ලි කුඩා කල මව දඩයම්කරුවන්ට ගොදුරු වෙනවා. මව් දේනුව ගෙ තිබ්බ වාගේම මාලුවෙක්ගෙ හැඩේ පැටන් එකක් තිබ්බ නිසා මච්ලි ව ඒ නමින් හැදින්වුවා.

මච්ලි හින්දා ඉන්දියාව අවුරුද්දකට ඇමරිකන් ඩොලර් මිලියන 10 ඉපයුවා. ඒ මච්ලිව බලන්න එන සංචාරකයින්ගෙන්. මච්ලි එරට ව්‍යාඝ්‍ර සංරක්ෂණයට අයිකන් එකක් උනා වගේම මච්ලි රන්තම්බෝර් වල ව්‍යාඝ්‍ර ගහනය වැඩි කරන්න පැටව් 11ක් දායාද කලා. රන්තම්බෝර් වල 2004 දි හිටියෙ ව්‍යාඝ්‍ර ගහනය 14 ක් පමණයි.මච්ලිගෙ දායකත්වය නිසා 2014 වෙන කොට රන්තම්බෝර් වල ව්‍යාඝ්‍ර ගහනය 50 ක් දක්වා වැඩි උනා.

Image may contain: outdoor

රන්තම්බෝර් වල බහුතර ව්‍යාඝ්‍රයින් මච්ලිගෙ ලේ නෑකම දරන අය. අනිත් එක මච්ලි අවස්ථා 4 කදි පැටවුන් දරනවා. සාමාන්‍යයෙන් ව්‍යාඝ්‍ර දේනුවක් අවස්ථා 2-3 අතර පමණයි පැටවුන් වදන්නෙ. ඒ වගේමයි ලෝක ප්‍රසිද්ධ උන ඡායාරූපයක හිමිකාරිය වෙන්න මච්ලි සමත් උනා. ඒ 2003 දි අඩි 14 ක් දිග හැල කිඹුලෙක්ව දඩයම් කරපු අවස්ථාවෙ ගත්ත ඡායාරූපය එක්ක.

Crocodile Killer කියන ගෞරව නාමය මච්ලිට හිමි උනා ඒ සේයාරූව සමගම. සටනෙන් ඇයට දඩයම් දත් දෙකක්ද අහිමි උනා. අනිත් දේ තමයි ඇය ඇගේ පැටවුන් ව පුදුම විදිහට ආරක්ෂා කලා. අවස්ථාවකදි ඇගේ පැටවුන් දඩයම් කරන්න පැමිණ ව්‍යාඝ්‍රයෙක්ට මරණීය තුවාල කරන්න පවා මච්ලි පැකිලුනේ නැහැ කියල එරට වන නිලධාරීන් පැවසුවා.

මච්ලිට ගරු නාම ගණනාවක් හිමි උනා. Queen Mother of Tigers, Tigress Queen of Ranthambore, Lady of the Lakes හා Crocodile Killer වැනි නම් ගණනාවක් ඇයට හිමි උනා. ඒ වගේමයි ඇයට ජාත්‍යන්තර සම්මානයක් හිමි උනා. “Lifetime Achievement Award” of Travel Operators For Tigers කියන සම්මානය. ඒ ඇය ව්‍යාඝ්‍ර ගහනය වැඩි කරන්නත්, සංරක්ෂණ ක්‍රියාවලියට දායක වීමත් යන කරුණු නිසා. එරට බලධාරීන් මච්ලිගෙ රුව සහිත මුද්දරයක් පවා නිකුත් කලා 2013 දි.

2014 දි එක්වරම මච්ලි අතුරුදන් උනා. එරට වනසංරක්ෂණ නිලධාරීන් හා පරිසරවේදින් 200 පමණ මච්ලි ව හොයන්න මෙහෙයුමක් පටන් ගත්තා. පසුව මච්ලි නැවත වාර්තා උනා වගේම හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවෙනවා කියල දැනගන්න ලැබුනා ඔවුන්ට. අවසන් කාලයේ මච්ලි සෑහෙන්න දුර්වල උනා. ඇයට ඇගේ දත් සියල්ලම වගේ අහිමි උනා. ඇසක පෙනීම නැති උනා වගේම ශක්තිය පිරිහීමට ලක් උනා.

ඇගේ අවසන් ගැබේ සිටි සුන්දරී ඇයව ඇගේ දඩ සීමාවෙන් පලවා හැරියා. රන්තම්බෝර් හි නිලධාරීන් ඇයට ආහාර ලබා දෙන්න කටයුතු කලත් ලොව සිටි අනෙක් පරිසරවේදින් එයට එරෙහි උනා. මන්ද මච්ලිගෙ මරණය යනු අනෙක් හැම සතෙක්ටම වගේ සාමාන්‍ය ලෙසින් හා මිනිස් අතපෙවීමක් නැතුව සිදු විය යුතු නිසා. 2016 අගෝස්තු 18 ඇය මෙලොවින් සමුගත්තා. මිය යන විට ඇයට අවුරුදු 20 ක් වූ අතර ලොව වනගහනයක් තුල සිටි වයස්ගතම ව්‍යාඝ්‍ර දේනුව ලෙස ඇය වාර්තා පොත් අතරට එක් උනා. මන්ද සාමාන්‍යයෙන් වනයේ සිටින ව්‍යාඝ්‍රයෙක්ගෙ ආයු කාලය අවුරුදු 10-15 ත් අතර පමණක් ගන්න නිසා.

Image may contain: 3 people, people smiling, outdoor

මරණයෙන් පසු ඇයව හින්දු ආගමානුකූලව චාරිත්‍ර අනුව පොදු උත්සවයකදි ඇගේ අවසන් කටයුතු ඉහලින් කරන්න ඉන්දියාව කටයුතු කලා. මරණයෙන් පසුව ඇය අමරණීය උනා වගේම තවමත් ව්‍යාඝ්‍ර සංරක්ෂණය තුලදී මච්ලි යනු නොමැකෙන නාමයක්.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීම sethil muhandiram

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top