ක්‍රිඩා

තිලකරත්න දිල්ශාන්ගේ ජීවිත කතාව

ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම අංගයක් වෙනස් කිරීම හෝ නව හඳුන්වාදීමක් සිදුකිරීම අපහසුයි. එය ඔබ සිතන අයුරින් අද තීරණයකට එළැඹීමෙන් පසු හෙට වෙනස් කල හැකි මට්ටමේ දෙයක් නොවේ. එවැනි ක්‍රිකට් ක්‍රීඩාවේ නව නිපැයුම්කරුවන් බිහිවී ඇත්තේ ද අල්පයකි. ඔවුන් නිසා ක්‍රීඩාවට සිදුවූ මෙහෙය ප්‍රමාණාත්මකව මැනිය නොහැක. තිලකරත්න දිල්ශාන් එවැනි ක්‍රීඩකයෙකි. ඔබට පහසුවෙන් ක්‍රිකට් සමාජ කණ්ඩායමක සොයාගත නොහැකි ක්‍රීඩකයෙකි. පහසුවෙන් පාසල් ක්‍රිකට් තරඟ තුලින් ද සොයාගත නොහැකි ක්‍රීඩකයෙකි.

දිල්ශාන් ගේ පාසල් ක්‍රිකට් දිවිය ඇරඹෙන්නේ කළුතර විද්‍යාලයෙනි. ඔහු ගේ හැකියාව හඳුනාගැනීමේ ගෞරවය හිමිවන්නේ 80 දශකයේ අගභාගයේ දී පමණ එවකට කළුතර විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු වූ සුනිල් සළුවඩන මහතා ටය. ඒවනවිට දසහැවරිදි වියේ පසුවූ දිල්ශාන් වඩාත් දක්ෂ වුයේ පාපන්දු ක්‍රීඩාවට ය.

පොලිස් නිලධාරියකු වූ ඔහුගේ පියා ද ප්‍රධාන පෙලේ පාපන්දු තරඟ නියෝජනය කල අයෙක් නිසාම දිල්ශාන් ගේ ප්‍රියතම ක්‍රීඩාව වුයේ පාපන්දු යි. එහෙත් සුනිල් සළුවඩන මහතා ගේ මඟපෙන්වීම යටතේ ඉතාමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස පරිණත වූ දිල්ශාන් 15න් පහල කළුතර විද්‍යාලීය කණ්ඩායමේ නායකයා ලෙස ද 17න් පහල සහ 19න් පහල කණ්ඩායමේ මුල්පෙළේ ක්‍රීඩකයෙක් ලෙස දස්කම් පෑවේ ය.

I remember he was just 15 when he hit a cracking century against Galle Cricket Club at an Under-23 match for Kalutara Town Club. To hit a century at that age is not an easy task The indication of a future international player was there in him since he was a toddler

(මට මතකයි වරක් ඔහු ගාලු ක්‍රිකට් සමාජයට එරෙහිව 23න් පහල තරඟයක දී කළුතර නාගරික සමාජය වෙනුවෙන් වේගවත් ශතකයක් වාර්තා කළා. එහි සුවිශේෂත්වය වන්නේ ඒවනවිට ඔහුගේ වයස 15ක් වීමයි. එවැනි වයසක දී ඒවගේ ශතකයක් වාර්තා කිරීම ඉතාමත් අපහසුයි. අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ සලකුණු ඔහු ඒවනවිටත් නිරූපණය කර අවසන්) – සුනිල් සළුවඩන මහතා
(උපුටා ගැනීම – Sunday Observer)

වයස 17 පිරෙත්ම බස්නාහිර දකුණ කණ්ඩායම නියෝජනය කරමින් පළමුපෙළ වරම් දිනාගන්නා දිල්ශාන් එම තරඟයේ දී රැස්කරගන්නේ ලකුණු 9ක් පමණයි. ඉන් වසරකට පසු දිල්ශාන් ඔහුගේ දෙවන පළමුපෙළ තරඟයේදීම 126ක් සහ 47ක් රැස්කරගනිමින් දක්ෂතා දැක්විය.

1996 වසරේ දී ප්‍රථම වරට ක්‍රිකට් සමාජ කණ්ඩායමක් (කළුතර නාගරික සමාජය) නියෝජනය කරන දිල්ශාන් එතැන්පසු සිංහ ක්‍රීඩා සමාජය, සෙබස්ටිනයිට්ස් ක්‍රීඩා සමාජය සහ ඔහු ගේ ක්‍රිකට් දිවියේ වැඩි කලක් ක්‍රීඩාකළ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ඔහුගේ දායකත්වය සපයා දෙන ලදී. ඔහු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ක්‍රීඩාකරන අවධියේ එම කණ්ඩායමේ රොෂාන් මහානාම, සනත් ජයසුරිය වැනි නම් දැරූ ක්‍රීඩකයින් ද නියෝජනය කළෝ ය.

1998 වසරේ දී දකුණු අප්‍රිකානු A පිලට එරෙහිව ශ්‍රී ලංකා A පිලට කඩුලු රකින පිතිකරුවෙක් ලෙස කැඳවීමක් ලැබුණු දිල්ශාන් ට සාර්ථක වීමට නොහැකි වුවත් කඩුලු රකින්නෙක් ලෙස සැලකිය යුතු මට්ටමේ දස්කම් දැක්විය. එහෙත් 1999 වසරේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත සංචාරය දිල්ශාන් ගේ තීරණාත්මක තරඟාවලිය විය.

එහිදී පිත්තෙන් මෙන්ම කඩුලු රකින්නෙක් ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූ ඔහුට එම වසර අගභාගයේ දී පැවති සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින තරඟාවලියට දුලිප් මෙන්ඩිස් ඇතුළු තේරීම් කමිටුවේන් කැඳවීමක් ලැබිණ. මංගල ටෙස්ට් තරඟයේ දී අසාර්ථක වුවත් දිල්ශාන් දෙවන ටෙස්ට් තරඟයේ දී ලකුණු 163ක් රැස්කරගන්නේ හතරේ පහර 18 කින් ඉනිම වර්ණවත් කරමින් ය.

“‘Dilly, just play this like an A team match,’ he (Sanath Jayasuriya) told me. That removed a huge pressure after the first Test ” – දිල්ශාන්

2003 වසර තෙක් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි නොවුනත් ඔහු දක්ෂතා අතර රැඳී සිටිමින් ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පිතිකරුවන් ට දැඩි පීඩනයක් එල්ලකරමින් සිටියේ ය. දිල්ෂාන් ගේ පන්දුරැකීම සහ ඕනෑම විටක පන්දු යැවීමට සහ කඩුලු රැකීමට ඇති හැකියාවන් හේතුවෙන් ඔහු කණ්ඩායමේ නිත්‍ය මැදපෙළ පිතිකරුවෙක් ලෙස පත්වුයේ ඉන් අනතුරුවයි.

රොෂාන් මහානාම ගෙන් පසු ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් ඉතාමත් අපහසු උඩපන්දු රැකීමට උපන්හපන්කම් දැක්වූ දිල්ශාන් පිටියේ පොයින්ට් ප්‍රදේශයේ මහා පවුර විය (The Great WALL at POINT). එමෙන්ම පිටියේ ඕනෑම ස්ථානයක සිට පන්දු රැකීමේ හැකියාව ඇති ක්‍රීඩකයින් අතලොස්සෙන් දිල්ශාන් එක් අයෙකි.

CB තුන්කොන් තරඟාවලියේ ඉතාමත් තීරණාත්මක තරඟයක් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟයේ දී අවසන් පන්දුවාරයට ලකුණු 10ක් අවශ්‍යව තිබු මොහොතක දී ඩේවිඩ් හසී විසින් එල්ල කල පහරක් ලෝන්ග් ඕෆ් හි පන්දු රකිමින් සිටි දිල්ශාන් ගේ ග්‍රහණයට හසුවීම සහ 2012 ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තය හා පැවති තරඟයක දී සුපර් ඕවර් පන්දුවාරයේ මාර්ටින් ගප්ටිල් ගේ උඩපන්දුව රැකගැනීම මීට නිදසුන් වේ.

එවැනි උඩපන්දු සහ අනර්ඝ පන්දු රැකිමි

1. 2006 වසරේ VB කුසලාන තුන්කොන් තරඟාවලියේ දී ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක සයිමන්ඩ්ස් ට දැවී යාමට සිදුවන්නේ අපූරු සිදුවීමකින් අනතුරුවයි.
2. චැම්පියන්ස් ලීග් තරඟාවලියේ දී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල වෙනුවෙන් හතරේ සීමාව අසලදී ඉතාමත් අපහසු උඩපන්දුවක් රැකගැනීම.

3. බිග් බෑෂ් ලීග් තරඟාවලියේ දී දිල්ශාන් ගෙන් අනර්ඝ දුවද්දී දැවී යාමකට හසුකිරීමක්.

4. ඉතාමත් අමිහිරි තරඟාවලි අවසානයක් වුවද දිල්ශාන් ගේ මේ අනර්ඝ උඩපන්දුව කිසිදා අමතක නොවන එකකි. විරාත් කෝලි දවාගැනීමට දිල්ශාන් සම්මාදම් වූ අයුරු.

5. ICC ශූරතා කුසලාන තරඟාවලියේ දී අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමේ තරඟයේ දී දිල්ශාන් ඕස්ට්‍රේලියාවේ ක්ලින්ට් මැකේ ගේ උඩපන්දුව රැකගත් අයුරු.

2006 වසර ලොව ක්‍රිකට් ලෝකය විශ්මිත වූ තරඟයක් දකුණු අප්‍රිකාවේ දී පැවති ය. ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාව එතෙක් එක්දින ලෝකයේ රැකගෙන සිටි ලොව වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව බිඳ දැමීම සහ එම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාව සාර්ථකව හඹා යාම ශ්‍රී ලාංකිකයින්ට නම් එතරම් සතුටුදායක සිදුවීමක් නොවූ බවට නිසැකයි. කෙසේ වුවත් සනත් ජයසුරියගේ සහ තිලකරත්න දිල්ශාන් ගේ ශතක හේතුවෙන් නැවතත් ඉහත වාර්තාව ශ්‍රී ලාංකිකයින්ට හිමිකරදීමට ඔවුන් සමත්විය. එම ශතකය (117*) දිල්ශාන් ගේ මංගල එක්දින ශතකයයි.

2009 වසර දිල්ශාන් ගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක වසර ලෙස සැලකීම වරදක් නොවේ. එම වසරේ මුල් භාගයේ දී බංගලාදේශයට එරෙහිව ලකුණු 162ක් සහ ලකුණු 143ක් රැස්කරගනිමින් ඉනිම් දෙකේහිම 150 සීමාව පසුකල පිතිකරුවෙක් වීමේ අවස්තාව අහිමි වුයේ නූලෙනි.

ඉනිම අවසන් කරන්නෙක් ලෙස ප්‍රකටව සිටි ඔහුට ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට එම වසරේ මුල් භාගයේ දී හිමිවන්නේ අහම්බෙනි. එම තීරණය සාර්ථක වෙමින් 2009-2016 කාලවකවානුව තුල වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් පිතිකරුවා බවට දිල්ශාන් අද පත්ව ඇති අතර ඔහුගේ පිතිකරණ සාමන්‍යය 39 තෙක් වර්ධනය විය. ආරම්භක පිතිකරුවෙක් ලෙස ඔහුගේ සාමන්‍යය 46 කි.

“Opening was the best slot because Sanath will retire in the next few years and I wanted that responsibility. I want to play the role Sanath has played.” – දිල්ශාන් (ක්‍රීක්ඉන්ෆෝ වෙත ලබාදුන් සම්මුඛ සාකච්චාවක දී, 2009)
ආරම්භක පිතිකරුගේ භූමිකාව පණපෙවීමට පෙර දිල්ශාන් දේශීය තරඟ තුලත් IPL තරඟ තුලත් ආරම්භක පිතිකරුවෙක් ලෙස දස්කම් දැක්විය.

2008 වසරේ පැවති CB තුන්කොන් තරඟාවලියේ 5 වන තරඟයේ දී ඉන්දීය ඉනිමෙන් අනතුරුව එවකට ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ගේ හදිසි කැඳවීම හේතුවෙන් දිල්ශාන් ප්‍රථමවරට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රියා කලේය. තීරණය අතිසාර්ථක වෙමින් දිල්ශාන් එම ඉනිමේදී ලකුනු 62ක් නොදැවී රැස්කරගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

එමෙන්ම එම වසරේ පැවති 20යි 20 ලෝක කුසලානයේ දී දිල්ශාන් ඔහුගේ නව නිර්මාණය හඳුන්වාදෙන ලදී. “ස්කුප්” පහර ලෙස ක්‍රිකට් විස්තර විචාරකයින් එය හැඳින්වුවත් එය ප්‍රචලිත වන්නට පටන්ගත්තේ “ඩිල්ස්කුප්” පහර ලෙසයි. කඩුලු රකින්නාගේ හිසට ඉහලින් පන්දුව යන පරිදි එල්ලකරන එය අතිභයානක උත්සහයක ප්‍රතිඵලයකි. දිල්ශාන් ගේ කණ්ඩායම් සඟයින් එය අර්ථ දැක්වුයේ “ස්ටාර් ෆිෂ්” යන අන්වර්ථ නාමයෙනි. ඊට හේතුව වුයේ කිසිදු පිතිකරුවෙක් එවැනි අනුවණ තීරණයකට පෙළෙඹෙන නොවන නිසයි.

එවකට ඔහුගේ ආරම්භක පිතිකරණ සඟයා වූ සනත් ජයසුරිය ද මෙම පහර උත්සහ නොකරන ලෙසත් දිල්ශාන් ට අවවාද දුන් බව වාර්තා වී ඇත.කෙසේ වෙතත් එවැනි පහරකට 100% සමාන පහරක් මේවනතුරු කිසිදු ක්‍රීඩකයෙක් එල්ලකර නැති බවට සැක හැර පැවසිය හැකිය. විචාරකයින් එය සිම්බාබ්වේ පිතිකරු ඩග්ලස් මරිලියර් එල්ලකළ පහරට සමානකම් දක්වන්නට උත්සහ කලත් එය සම්පූර්ණයෙන්ම වෙනස් පහරකි. මෙම ලෝක කුසලාන තරඟාවලියේ දී දිල්ශාන් තරඟාවලි වීරයා සම්මානය ද දිනාගත්තේය.

මතු සමිබන්ධයි

සටහන උපුල් ශාන්ත

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top