ක්‍රිඩා

නයි නැටුම අස්සේ වැරදුන කුරුමානම

ක්‍රිකට්‌ පිටියේදී ඉන්දියාවට හුරේ දැමීමට ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයෝ කවදත් අකැමැති වූහ. නමුත් හෝරා දෙකක්‌ තුළ සිදුවූ හදිසි තීරණයකින් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු ඉන්දියාවේ පැත්තට හැරුණි. එවිට ප්‍රතිවාදියා වූයේ බංග්ලාදේශයයි. 96 ලෝක කුසලානයේදී රණතුංගලාගේ ජයග්‍රහණයට යාඥා කරමින් අපේ ක්‍රිකට්‌ කොපි කළ බංග්ලාදේශය දැන් ලොකු අයියලාය. ඔවුන් ඉදිරියේ ශ්‍රී ලංකාව මව්බිමේදීම දෙවරක්‌ම වරද්දා ගත්තේය. ඒ වැරැද්දෙන් නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌සේ අවසන් සටනද ශ්‍රී ලංකාවට මගහැරුණි.

දිනන්නට මෙන්ම පරදින්නටද හේතුවක්‌ තිබිය යුතුය. හතුරුසිංහ බංග්ලාදේශයේ පුහුණුකරු ධුරය අතහැර ශ්‍රී ලංකාව තෝරා ගැනීමත් සමග බංග්ලාදේශ ක්‍රිකට්‌ මිතුරන්ගේ ප්‍රධාන හතුරා බවට ශ්‍රී ලංකාව පත්විය. හතුරුසිංහටද බංග්ලාදේශය මුණ ගැසෙන සෑම අවස්‌ථාවකම ඇත්තේ මහත් අභියෝගයකි. ජනවාරියේදී හතුරුසිංහ බංග්ලාදේශයේදී ඒ අභියෝග ජය ගත්තද මෙවර ඔහු පරාජය විය.

ශ්‍රී ලංකාව දැන් බංග්ලාදේශයට පරදින විට මාධ්‍ය කුටියේ සිටින බංගලි මාධ්‍යවේදියෝ ද කෑ මොර දෙති. අත්පුඩි ගසති. ඒ තරමටම බංග්ලාදේශ මාධ්‍යවේදීන්ද චූන් වෙයි. ක්‍රීඩකයෝ නයි නැටුම් නටති. සමහරු ඉඳා නටපන් කියා නළාව පිඹිති. අමිල අපොන්සු කඩුල්ලක්‌ දවා ගෙන නළාව පිඹින දර්ශනයක්‌ ඉදිරිපත් කළේය.

තීරණාත්මක තරගයේදී අකිල ධනංජය ලෝන් ඕන් සිට උඩපන්දුවක්‌ රැගෙන පෙනය පිප්පුවේය. ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයෝද පෙනය පුප්පන ජනනිකා ප්‍රේක්‍ෂකාගාරවල දැක ගත හැකි විය. අවසානයේ බංග්ලාදේශය පෙනය පමණක්‌ නොව කොකා ද පෙන්වමින් අවසන් මහ සටනින් ශ්‍රී ලංකාව ඉවතට විසි කර දැම්මේය. එයට හේතුව කණ්‌ඩායමේ සමබරතාවයේ ප්‍රශ්නයක්‌ බවට ක්‍ෂේත්‍රයේ මැසිවිලි නගති.

ශ්‍රී ලංකා කණ්‌ඩායමට නිදහස්‌ කුසලානයේ අවසන් සටන අහිමිවීමට ප්‍රධාන හේතුව කණ්‌ඩායම සංකලනය කිරීමේ දුර්වලතාව බව පැහැදිලිය. නායක දිනේෂ් චන්දිමාල්ගේ තරග තහනමෙන් පසුව සිදු වූ තේරීම් මේ පරාජයේ ප්‍රධාන තේමා පාඨය විය යුතුය. බැලු බැල්මට පෙනෙන්නේ අවසන් පන්දු කිහිපයේදී බංග්ලාදේශයට පරාජය වීමේ අතපසුවීම්ය. නැතිනම් මහමුදුල්ලාගේ ජයග්‍රාහී හයේ පහරය. එසේ නැතිනම් ෂකීබ් අල් හසන්ගේ චණ්‌ඩි පාට්‌ නිසා තරගය විනාඩි කිහිපයක්‌ අතහැර දැමීමට සිදුවීමය. නමුත් මේ සියල්ලටම වඩා එකම වැරැද්ද දෙවරක්‌ කිරීමෙන් ශ්‍රී ලංකා පිල වැඩේ වරද්දා ගත් බව පැහැදිලිය.

පළමු තරගයේදීම ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව දෙවැනි තරගයේදී බංග්ලාදේශයට රිදෙන්න පහර දුන්නේය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ෆුල් ටෝස්‌ පන්දු සහ පන්දු රැකීමේ දුර්වලතාව හේතුවෙන් ලකුණු 214 ක ඉලක්‌කය පන්නා යැමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ. එය ඔවුන්ගේ නව වාර්තාවකි. බංග්ලාදේශය රිදවූ අවියෙන්ම ඔවුන් ශ්‍රී ලංකාවද රිදෙව්වේය. එම තරගයේදී කාලය කා දැමීම හේතුවෙන් චන්දිමාල්ට තරග දෙකක්‌ තහනම් විය. චන්දිමාල්ගේ තහනම හේතුවෙන් කණ්‌ඩායමට ගෙනාවේ සුරංග ලක්‌මාල්ය.

පිතිකරුවකුගේ හිඩැස පන්දු යවන්නකුට පිරවිය හැකිද යන්න එතනදි ගැටලුවක්‌ විය. නමුත් ක්‍රිකට්‌ කාක්‌කන් මෙන් හතුරුසිංහලා ඇතුළු කළමනාකාරිත්වය පිතිකරුවකුට වඩා පන්දු යවන්නකු කණ්‌ඩායමට එක්‌ කළේය. දෙවැනි වටයේදී ඉන්දියාවට පැරදුනේද පිතිකරුවකුගේ අඩුව ප්‍රශ්නයක්‌ වෙමිනි. ‘අපිට තව ලකුණු 25-35 ක්‌ තිබුණ නම් අනිවාර්යයෙන් ජය ගන්න තිබුණා.’ වැඩ බලන නායකයා වූ තිසර පෙරේරා පැවසීය.

පිතිකරුවකු සිටියා නම් ඒ අඩු ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබුණි. නමුත් තිසර කියන්නේ පන්දු යවන්නකු අවශ්‍ය නිසා ලක්‌මාල්ව ගත් බවයි. ඒත් නම් දැරූ පන්දු යවන්නන්ගේ පන්දු ඕවර හතක්‌ ඒ තරගයේදී ඉතිරි විය. පන්දු ඕවර ඉතිරි කර ගන්නට පන්දු යවන්නන් කණ්‌ඩායමට අවශ්‍යද යන්න ප්‍රශ්නය මතු වන්නේ එවිටය. කෙසේ හෝ ඒ කුරුමානම වැරදුනේ ඉල්ලම් කා ගැනීමකිනි. නැතහොත් අධි තක්‌සේරුව නිසා විය හැකිය.

අවසන් සටනට ජයග්‍රහණය අත්‍යවශ්‍යම තරගයේදීද පිතිකරුවකුගේ අඩුවකින් ශ්‍රී ලංකාව යළිත් රෑ වැටුණ වළේම එළිපිටද වැටුණේය. එම තරගයේදී බංග්ලාදේශය පළමු පන්දු ඕවර දහයේදී ශ්‍රී ලංකා පිලේ කඩුලු පහක්‌ ලකුණු 53 ක්‌ තුළ බිඳ දමා තිබුණි. ලකුණු 41 දී පස්‌වැනි කඩුල්ල අහිමි වීමෙන් තිසර පෙරේරා සහ කුසල් පෙරේරා සංයමයකින් යුතුව ඉනිම ගොඩ නැගීමට සමත්වීමෙන් කරට කර සටනක්‌ නිර්මාණය විය.

පළමු පිතිකරුවන් තිදෙනා (මෙන්ඩිස්‌, ගුණතිලක සහ පෙරේරා) හැරුණු කොට ශ්‍රී ලංකාවේ අනෙකුත් පිතිකරුවකු ඒ වන විට විස්‌සයි විස්‌සේ අර්ධ ශතකයක්‌ හෝ ලබා නොතිබුණි. ප්‍රවේගකාරී පිතිකරුවන් පෙළක්‌ම සිටියද තරගය ඇදගෙන යැමට ඔවුන්ට ශක්‌තියක්‌ නොමැති බව පැහැදිලි විය. චන්දිමාල්ගේ අඩුවට එදා ධනංජය ද සිල්වා හොඳම ආදේශකයා විය. නමුත් ඔහු සිටියේ බංකුවේය.

එම තරගයේදී තවත් ලකුණු 10-15 අතර ලබා ගත්තානම් මේ වන විට නිදහස්‌ කුසලානයේ සින්නක්‌කර අයිතිය ඉන්දියාවට නොව ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නට තිබුණි. නමුත් අඬුව තිබෙද්දී අත පුච්චා ගැනීමක්‌ මෙන් ශ්‍රී ලංකාව වැඩේ වරද්දා ගත්තේය.

අකැමැත්තෙන් හෝ පරාජයට හේතු වූ ඒ වරද පිළිගැනීම අදාළ වගකිව යුත්තන්ගේ වැඩකි. බංග්ලාදේශයේදී මාසයකට පෙර දිනූ සංකලනය ශ්‍රී ලංකාවේදී අවුල් වූ බවද සැබෑය. නමුත් පසුගිය වසරේ පැරදුනාට වඩා දැන් පරාජය නම්බුකාරය. ලෙහෙසියෙන් සටනින් පලා නොයන බව ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවයෙන් පෙනී යයි. කෙසේ වෙතත් අවසානයේ ජයග්‍රාහී ගොඩට වඩා පරාජයන් ගොඩ වැඩිවීමද ප්‍රශ්නයකි.

බලය විමධ්‍යගත කර තිබෙන මොහොතක හරි තීන්දු ගෙන රෑ වැටුණ වළේ දවල් නොවැටෙන්නට නිහතමානී වන ලෙස අපි ක්‍රිකට්‌ කරවන බලධාරීන්ට යෝජනා කර සිටිමු. අවසානයේ ඇත්තේ එක්‌ සැනසීමකි. ඒ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්‌ට්‌ ජය මෙන්ම එක්‌දින ජයද ඉන්දියාවට එරෙහිව වාර්තා කරගත්තාක්‌ මෙන් අපේ එවුන් හුරේ දැමූ ඉන්දියාව නිදහස්‌ කුසලාන ඔසවාගෙන යාමයි. දිනේෂ් කාර්තික්‌ අවසන් පන්දුවට හයේ පහරකින් ඒ ජය උදුරා නොගන්නට, බංග්ලාදේශය නයි නැටුම් කෙසේ වෙතත් යකා නම් නටනු ඇත.

දිවයින ඇසුරෙනි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top