ක්‍රිඩා

ශ්‍රි ලංකා කණ්ඩායමේ උප නායකයා සුරංග ලක්මාල්

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ උප නායකත්වය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

තිස්වැනි වියේ පසුවන ලක්මාල්, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රවීණතම වේග පන්දු යවන්නා වන අතර මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී ඔහු ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ.

මේ දක්වා ටෙස්ට් තරග 42 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කර ඇති ලක්මාල්, එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 96 කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 සීමාව පසුකළ 7 වැනි පන්දු යවන්නා මෙන්ම සිවුවැනි වේග පන්දු යවන්නා වීම සඳහා ඔහුට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 4 ක් පමණි.

කෙසේ වුවත් අවසන් වරට ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළ ළහිරු තිරිමාන්නට මෙම තරගාවලියේදී උප නායකත්වය පමණක් නොව කණ්ඩායමේ ස්ථානයක්ද අහිමි වී තිබේ. ඉන්දීය තරගාවලියේදී තරග 2 කට ක්‍රීඩා කළ තිරිමාන්න, එහිදී ඉනිම් 4 තුළ අර්ධ ශතකයක් සමගින් රැස්කරගෙන තිබුණේ ලකුණු 90 ක් පමණි.

තිරිමාන්නට අමතරව ඉන්දීය තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ සධීර සමරවික්‍රමද බංග්ලාදේශ තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයෙන් ඉවත් කර තිබේ. ඔවුන් දෙදෙනා වෙනුවට ඉන්දීය තරගාවලියට ඇතුළත් නොවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් යළි සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය තරගාවලි වලදී කැපී පෙනෙන දස්කම් දැක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයද බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා කැඳවනු ලැබ සිටියි. 24 හැවිරිදි ධනංජය, එක්දින තරග 14 කදී කඩුලු 18 ක් බිඳහෙළා ඇති නමුත් තවමත් ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා නොමැත. ධනංජය සංචිතයට ඇතුළත්ව සිටින සිවුවැනි දඟ පන්දු යවන්නා වන අතර ඔහුට අමතරව රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන්ට ඊට ඇතුළත්ව සිටිති.

මේ අතර දැනට ශ්‍රී ලංකාවේ සිටින වේගවත්ම පන්දු යවන්නන් දෙදෙනා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාරද බංග්ලාදේශ තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට කැඳවා සිටිති. ඔවුන් දෙදෙනාට සංචිතයේ ඉඩක් වෙන්කර දීම සඳහා ඉන්දීය තරගාවලියට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සංචිතයෙන් ඉවත් කර තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම සඳහා අගනා ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වා තවදුරටත් සංචිතයේ රඳවා ගැනීමටද තේරීම් කමිටුව තීරණය කර තිබේ.

අබාධ තත්ත්වයන්ට ලක්ව සිට යළිත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක්වූ කුසල් පෙරේරාට සහ අසේල ගුණරත්නට මෙම තරගාවලියේදීත් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමි වී නැත.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්, රොෂේන් සිල්වා, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top