ක්‍රිඩා

අංශ හතරක් යටතේ හතුරුසිංහ වැඩ අරඹයි

නව ක්‍රිකට්‌ සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වැඩ ඇල්ලීය. ජාතික සංචිතයට නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගෙන් ආබාධයකට ලක්‌ව සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ හැර අනෙක්‌ සියලුම ක්‍රීඩකයන් පුහුණුවීම්වලට පැමිණ සිටි අතර ලසිත් මාලිංගද පැයක පමණක කාලයක්‌ පුහුණුවීම්වල නිරත විය.

ක්‍රීඩකයන් සමග ඉතා සුහදව අදහස්‌ හුවමාරු කර ගනිමින් කෙටි සාකච්ඡා පවත්වමින් හතුරුසිංහ සිය වැඩ ආරම්භ කරද්දී ක්‍රීඩකයන්ද නැවුම් උද්වේගයකින් පුහුණුවීම්වල නිරත විය. ප්‍රේමදාස ක්‍රීඩාංගණය මැදදී පිතිකරණ පුහුණුවට පිතිකරුවන්ට අවස්‌ථාව ලබාදෙද්දී හතුරුසිංහ පන්දු යෑවීමේ යන්ත්‍රයෙන් එක්‌ එක්‌ වේගයෙන් පන්දුව පිතිකරුවන්ට එවීමට කටයුතු කළේය.

”මම මුලින්ම අංශ හතරක්‌ යටතේ පුහුණුව කරනවා. දඟ පන්දු යවන්නන් පිතිකරණයේ නියෑලෙන්නේ කොහොමද සහ වේග පන්දු යවන්නන්ගේ පුහුණුවත් ඒකට ඇතුළත්. තව පිතිකරුවන්ට නිදහසේ පහරවල් කරා යැ හැකි ප්‍රවීණත්වය පුහුණුවේදී ඔවුන්ට ලබා දෙනවා.

පුහුණුව ආරම්භ කිරීමට පෙර හතුරුසිංහ ක්‍රීඩකයන් සමග සාකච්ඡා කර ඇති අතර එහිදී ඔවුන්ට කළ හැකි දේ කළ පෙන්වන ලෙසද හතුරුසිංහ ඔවුන්ට උපදෙස්‌ දී තිබේ.

”මේ කණ්‌ඩායමට 100% ක්‌ ඉහළ යන්න පුළුවන්. තරගයකදී උඩපන්දු අතහරින එක හෝ නොගැලපෙන තීරණ ගැනීමම නෙමෙයි පරාජයට එකම හේතුව. මොකද ක්‍රීඩයන් තුළ පුහුණුව වගේම විශ්වාසය ගොඩනන්වන්නත් ඕන. ඒ සඳහා පරිසරයත් ඉක්‌මනින්ම වෙනස්‌ කරන්න වෙනවා. ක්‍රීඩකයන් සමග හොඳ සන්නිවේදනයක්‌ ඉක්‌මනින් ඇති කර ගන්න ඕන.” යනුවෙන් හතුරුසිංහ ඊයේ පුහුණුව අතරතුරදී පැවසීය.

පසුගිය කාලයේ පරාජය වූයේ දක්‍ෂතා නැති නිසාම නොවන බවත් ලෝකයේ හොඳම ක්‍රීඩකයන් පස්‌ දෙනා හෝ 10 දෙනා අතර ඉන්න පුළුවන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව තුළ සිටියත් ඔවුන් ඔවුන්ගේ හැකියාව වටහාගෙන නොමැති බවද හතුරුසිංහ සඳහන් කර සිටියි.

ක්‍රීඩකයන්ගේ ධනාත්මක සහ රිනාත්මක පැති තිබෙන බවත් තමා කතා කරන්නේ ධනාත්මක පැති පිළිබඳව පමණක්‌ බව පැවසූ හතුරුසිංහ බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන්ද මුවහත් වන අයුරු වැඩිදුරටත් පැවසීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top