දැනුම

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ඉලිප්සාකාරව ගමන් කරන්නේ ඇයි ?

ග්‍රහලෝක වල කක්ෂ ඉලිප්සාකාර ඇයි?

ඔබ තාරකා විද්‍යාව ගැන අවධානයක් දක්වන කෙනෙක් නම් ඔබ දැකලා ඇති වෘත්තය (හෝ ත්‍රිමානයේදී නම් ගෝලය) කියන හැඩය විශ්වය පුරා කොයි තරම් නම් දකින්න ලැබෙන හැඩයක්ද කියලා. තරු, ග්‍රහලෝක, කළු කුහර පවා නිතැනින්ම මේ හැඩය ගන්නවා. මේ නිසා ඈත අතීතයේ ඉඳන්ම වෘත්තාකාර / ගෝලාකාර හැඩයට මිනිසුන් තුළ ලොකු ගරුත්වයක් ඇති වෙලා තිබුණා. වෘත්තය පරිපූර්ණත්වයේ ලක්ෂණයක් ලෙසයි අතීතයේ විසූ බොහෝ දෙනා හිතුවේ.

නමුත් අතීතයේ සිටි තාරකා විද්‍යාඥයන් මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් තිබුණා. සූර්යයා වටා පෘථිවියේ කක්ෂය වෘත්තාකාර ලෙස සැළකුවොත් පෘථිවියේ චලිතය පිළිබඳ නිරීක්ෂණ පැහැදිලි කරන්න බැරි වුණා. ඔවුන්ගේ නිරීක්ෂණ වලින් හෙළි වුණේ පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වටා යන කක්ෂය ඉලිප්සාකාර විය යුතු බවයි. පසු කාලීනව කෙප්ලර්ගේ නියම මගින් මේ බව සහතික ලෙසම ස්ථිර වුණා.

ඔබත් පාසල් කාලයේ ඉඳලම ඉගෙන ගෙන ඇති සූර්යයා වට ග්‍රහලෝක ගමන් ගන්නේ ඉලිප්සාකාර මාර්ග වල බව. ඒත් ඇත්තටම එහෙම වෙන්නේ ඇයි කියලා ඔබ කවදාවත් හිතලා තියෙනවාද? පරිපූර්ණත්වයෙන් යුතු විශ්වය තුළට මේ ඉලිප්සය නම් අපරිපූර්ණ හැඩය ලැබුණේ කොහොමද?

අපි මුලින්ම බලමු මොකද්ද ඉලිප්සයක් කියන්නේ කියලා. සරළවම ඉලිප්සයක් කියන්නේ මදක් දිග ඇදුණු වෘත්තයක් කියන්න පුළුවන්. නමුත් විවිධ ඉලිප්ස තුළ මේ දිග ඇදුණු ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඉලිප්සයේ මැද සිට වඩාත් දුර්‍රින් සහ ළඟින් තියෙන ලක්ෂ්‍යන් යා කර අඳින රේඛා දෙක හඳුන්වන්නේ මහා අක්ෂය සහ කුඩා අක්ෂය නමින්. (පළමු කමෙන්ටුවේ රූපය බලන්න) ඉලිප්සයකට කේන්ද්‍ර දෙකක් තියෙන බව ඔබට පේනවා ඇති. කුඩා කාලයේදී ගණිත පාඩම් වල ඉලිප්සය අඳින්න දෙන්නේ මේ රූපයේ පෙන්වා තියෙන ආකාරයටයි. කේන්ද්‍ර දෙක නියෝජන කරන්න ඇල්පෙනිති දෙකක් සිටවලා, නූල් පුඩුවක් ඒ කේන්ද්‍ර දෙක වටා තියලා, ඒ පුඩුව තුළට දැමූ පැන්සලක් තදින් කෙළවරටම ඇදලා ගමන් කරවීමෙන් තමයි ඉලිප්සය අඳින්නේ. කඩ ඉරි වලින් පෙනෙන්නේ අදාල අවස්ථාවේ නූල් පුඩුව ඇදීමෙන් නිර්මාණය වුණු ත්‍රිකෝණයයි.

බැලූ බැල්මට ඉලිප්සය සෑහෙන්න අසමමිතික, අපරිපූර්ණ වස්තුවක් වගේ පේන්න පුළුවන්. නමුත් ඉලිපසයේ පරිධියේ තියෙන ඕනෑම ලක්ෂයකට මේ කේන්ද්‍ර දෙකේ සිට තියෙන දුර වල එකතුව සෑම විටම නියතක්.

ග්‍රහලෝක වල කක්ෂ ඉලිප්සීය වීමට හේතුව අපි උදාහරණයකින් බලමු. හිතන්න ඔබ පිට්ටනියක් මැද හිට ගෙන ඉන්නවා කියලා. ඔබේ අසළින් කුඩා ළමයෙක් සරළ රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා. නමුත් ඔබ ඔබේ අත දිගු කරලා ඒ ළමයාගේ අතින් අල්ලා ගන්නවා. එක වරම ඔබට පොඩි ප්‍රතිරෝධයක් දැනුනත් වැඩි අපහසුවක් නැතුව ඔබට පුළුවන් ඔහුව ඔබ වටා පථයක ගමන් කරන ආකාරයට දිගටම ඔහුගේ අතින් අල්ලාගෙන ඉන්න. එතකොට කුඩා ළමයා ඔබ වටා වෘත්තාකාර පථයක දිගටම ගමන් කරමින් ඉඳීවි.

ඊළඟ අවස්ථාවේදී හිතන්න ඔබ පිට්ටනිය මැද ඉන්න කොට හැඩි දැඩි මිනිසෙක් ඔබ අසළින් යනවා කියලා. ඔබ පෙර ආකාරයටම ඔහුවත් අල්ලාගන්න උත්සාහ කරනවා. නමුත් එය පහසු නෑ. ඔබට දැනෙන ප්‍රතිරෝධය වැඩියී. ඔබ අතින් අල්ලාගෙන හිටියත් ඔහු එක වර ඔබ වටා වෘත්තාකාර කක්ෂයක යන්න පෙළඹෙන්නේ නෑ. ඔහු ඔබ වටා එක වර පහසුවෙන් වෘත්තාකාර මාර්ගයකට එළඹෙන්නේ නැතුව මුලින්, ඔබෙන් ඈතට යන්න උත්සාහ කරනවා. නමුත් ඔබ දක්වන ඇදීම ප්‍රබල වුණු විට ඔහු ඈතට ගොස් නැවත හැරී ඔබ වටා ගමන් කරන්න පෙළඹෙනවා. නමුත් ඊළඟ වටයේදී නැවතත් ඒ හා සමාන පිහිටුමකට එළඹෙන කොට ඔහු නැවතත් උත්සාහ කරන්නේ ඔබේ ඇදීමෙන් මිදී පළා යන්නටයි. මේ නිසා ඔහු ඔබ වටා ගමන් ගන්නා මාර්ගය, පරිපූර්ණ වෘත්තයකට වඩා දිග ඇදුණු ඉලිප්සාකාර හැඩයක් ගන්නවා.

ග්‍රහලෝක හිරු වටා ගමන් කරන්නේත් මෙන්න මේ ආකාරයටයි. චලනය වන ඕනෑම වස්තුවක් එහි දැනට තියෙන චලිත ස්වභාවය වෙනස් කරන්න අකැමතියී. මේ ලක්ෂණය හඳුන්වන්නේ වස්තුවක අවස්තිථිය නමින්. අවස්තිථිය සඳහා බලපාන්නේ වස්තුවේ ස්කන්ධය සහ වේගයයි. චාලක ශක්තිය සඳහාත් බලපාන්නේ මේ සාධක දෙකම තමයි. සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වුණු කාලයේදී ග්‍රහලෝක වලට ඉතා විශාල චාලක ශක්තියක් තිබුණා. ඉතින් සූර්යයාගේ ගුරුත්ව බලය මගින් ඒවා හිරු වටා ඇද බැඳ තබා ගැනීම පහසු වුණේ නෑ. අර ඉහත උදාහරණෙන්ම හිතුවොත් ඔබට බරින් වැඩි කෙනෙකුත්, වේගයෙන් දුවගෙන යන කෙනෙකුත් යන දෙදෙනාවම අල්වාගෙන ඔබ වටා කරකවන්න අපහසුයි නේද? ඉතින් හිරුගේ ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව ග්‍රහලොව විසින් යොදන චාලක ශක්තිය වැඩියී නම් ග්‍රහලෝකයක කක්ෂ පථය වඩාත් ඉලිප්සීය ස්වභාවයක් ගන්නවා.

හිරු වටා ග්‍රහලෝක ගමන් කරන්නේ ඉලාස්ටික් පටි වලින් හැදුණු මාර්ග වගේ කක්ෂ පථ ඔස්සේ. හිරුගෙන් ඈතට යන කොට ඒවා ඇදෙන ප්‍රමාණය වැඩියී. තම තමන්ගේ අවස්තිථිය නිසා ඒවාට පරිපූර්ණ වෘත්තාකාර කක්ෂ වල ගමන් කරන්නට බැහැ. පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙන චන්ද්‍රිකා, ක්ෂීරපථයේ මධ්‍යය වටා කක්ෂ ගත වුණු තාරකා, මේ හැම දෙයක්ම ඉලිප්සාකාර කක්ෂ වල ගමන් කරන්නට හේතුව මේකයි. මේ සොයාගැනීම කරන්න මුල් වුණු ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු

 

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top