gossip

විවාහවීමේ පරමාර්ථය හා පොරොන්දම් ගැළපීම

ජීවන ගමන් මගේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස විවාහය හැඳින්විය හැකිය. විවාහයක් සඳහා ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් පරික්ෂා කිරීම ඈත අතීතයේ පටන් අද දක්වාම සිදුකෙරෙන ක්‍රමවේදයකි.

ගැළපිය යුතුම පොරොන්දම් එකක් හෝ කීපයක් නොගැළපේ නම් එම විවාහය නොකර සිටීමට ජ්‍යොතිර්වේදියා උපදෙස් ලබාදෙයි. එහෙත් වර්තාමනය වන විට මෙවන් සාම්ප්‍රදායික ක්‍රමවේද ඉවතලා තම අභිමතය පරිදි කටයුතු කරන පිරිස්ද නැත්තේ නොවේ.

පොරොන්දම් ගළපනවාට වඩා රුධිර පරික්ෂාවකින් එච්.අයි.වී. ඒඩ්ස් දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ පිළිබඳව වූ රෝග විනිශ්චයක් කරගැනීම වඩාත් ප්‍රඥාගෝචර බව විද්වත් මතයයි. කරුණු එසේ වුවද විවාහවීමේ පරමාර්ථය ලෙස බොහෝදෙනෙකු දකින්නේ සුන්දර සුවදායී සුරක්ෂිත දිවිපෙවෙතක් ගත කිරීමට මග පාදා ගැනීමක් ලෙසය.

එසේ වුවද පැරණි භාරතීය සමාජය ප්‍රධාන කරුණු දෙකක් විවාහයකින් බලාපොරොත්තු විය. ඉන් පළමු පරමාර්ථය වූයේ පීතෘපිණ්ඩ දානය කිරීමයි. එනම් තම මාපියන් ජීවත්ව සිටින තුරු ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීමත් මියගිය පසු පිංපෙත් අනුමෝදන් කරවීම යන කරුණු ඉටුකර ගැනීම සඳහා විවාහ විය යුතු බවය.

දෙවන පරමාර්ථය ලෙස පුතෙකු ලැබීම බලාපොරොත්තු විය. බ්‍රාහ්මණයින් සමාජයේ ඉහළම ස්ථරයේ වැජඹුණ අතර ස්ත්‍රීන්ට තැනක් තිබුණේ නැත. ස්ත්‍රියකගේ උපත පවා අභාග්‍ය සම්පන්න සිදුවීමකැයි සමාජය පිළිගෙන තිබුණි. නමුත් බුදුදහම මේ බමුණු මතය බැහැර කරයි.

ස්වාමියා අකාලයේ මියගියහොත් තම වැඩිමහල් පුත්‍රයාගේ රැකවරණ මැද ජීවත් විය යුතුය. එසේත් නොමැති නම් ස්වාමියාගේ දර සෑයට පැන තම ජීවිතය පූජා කළ යුතු විය. එබැවින් විවාහයේ ප්‍රමුඛ පරමාර්ථයක් ලෙස පුතෙකු පැතුවා විය හැක.

අද මෙන් හුදෙක් ලිංගික ආශ්වාදය පමණක් ප්‍රාර්ථනා කරමින් විවාහ කටයුතු සිදුනොවූ බව ඒ අනුව අපට සිතාගත හැකිය. ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට එකල භාරතීය සමාජයේ විවිධ වෙසඟනන් පුරඟනන් සිටි බව ප්‍රකටය.

ඒ අයට රාජ්‍ය අනුග්‍රහය පවා හිමිව තිබීමෙන් ඒ බව සනාථ වේ. ඉතා ඈත අතීතයේ පටන්ම විවාහය සඳහා පොරොන්දම් ගැළපීම සිදුකර ඇති බවට සාක්ෂි ඇත. එදා මෙදාතුර සිටි සියලුම ජ්‍යොතීර්වේදීන් පොරොන්දම් බැලීමේදී අනුගමනය කර ඇත්තේ එකම ක්‍රමවේදයකි. පොරොන්දම් ගැළපීම ප්‍රධාන අංග හයක් යටතේ සිදුකෙරේ. ඒවා නම්

විසි පොරොන්දම, දස පොරොන්දම, ග්‍රහ පොරොන්දම් බැලීමේ පාපාංශක, එ්ක දින පොරොන්දම, අෂ්ට කූටය, කුජ භෞම දෝෂ

මෙයින්ද බොහෝදෙනෙකු විසි පොරොන්දම ගැළපීම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති බව පෙනී යයි. පොරොන්දම් විස්සකින් වැඩි ප්‍රතිශතයක් ගැළපීම අත්‍යවශ්‍ය වුවද අවශ්‍යම පොරොන්දම් එකක් හෝ කීපයක් ගැළපී නැත්නම් එය විවාහයට නුසුදුසු කමකි. අවශ්‍යම පොරොන්දම් ලෙස නැකැත් පො​ෙරාන්දම ගණ පොරොන්දම යෝනි පොරොන්දම රාශි පොරොන්දම ලග්න පොරොන්දම රජ්ජු පොරොන්දම පඤ්ච පක්ෂි පොරොන්දම පංච භූත පොරොන්දම ලිංග පොරොන්දම නාඩි පොරොන්දම දැක්විය හැකිය.

පොරොන්දම් නොගැළපුණත් ඉතා සාර්ථක විවාහ ජීවිත ගත කරන පිරිස්ද පොරොන්දම් මනා සේ ගැළපෙතත් අසාර්ථක විවාහ ජීවිත ගත කරන පිරිස්ද අප අතර හිඟ නොවේ. මේ ආකාරයෙන් බලන කල විවාහයේ පදනම ජ්‍යොතිෂය මත පිහිටා ඇති සෙයක් විද්‍යාමාන වේ.

අනිත් අයටත් කියවන්න share කරන්න

ආර්.එම්. පොඩි රාළහාමි
රඹුක්කන

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top