දැනුම

කෘත්‍රිම බුද්ධිය මනුෂ්‍යත්වයේ මීළඟ යුගය ද?

ජීවය ආරම්භ වූ දා පටන් අද දක්‌වා මානවයා ප්‍රමුඛ ජීවය මෙතෙක්‌ පැමිණි ගමන් මඟ ජීවයේ විශිෂ්ටත්වය කියාපාන සාධකයකි. පෘථිවිය ආරම්භ වූවා යෑයි කියන්නේ මීට වර්ෂ බිලියන 4.5කට පෙර දී ය. ඒ මත ජීවය ආරම්භ වූයේ මීට වර්ෂ බිලියන 3.7කට පෙර දී ය.

Image result for robot intelligent

වර්ෂ බිලියන ගණනක්‌ තිස්‌සේ විවිධ ජීවී කොට්‌ඨාශ බිහි වී ඒ අතරින් පරිණාමය වී අද අප අයත් වන හෝමෝ සේපියන්ස්‌ (Homo sapiens) මානවයාගේ ආරම්භය සිදු වූයේ මීට වර්ෂ මිලියන 20කට කලින් යෑයි අනුමාන කෙරේ. එනම්, අද අපගේ ජෛවී තත්ත්වය යනු වර්ෂ බිලියන ගණනක්‌ ගත වූ ජීව විද්‍යාත්මක විපරිණාමයක ප්‍රතිඵලයකි.

එකී ජීව විද්‍යාත්මක දියුණුව ලබාගන්නට අපට වර්ෂ බිලියන ගණනක්‌ ගත වුව ද, හෝමෝ සේපියන්ස්‌ මානවයා තමා උපත ලද අප්‍රිකානු මහාද්වීපයෙන් නික්‌මී ආසියාව හරහා යුරෝපයට ද ඉන් ඉක්‌බිති ව ඇමෙරිකානු මහාද්වීපයට ද ආදි වශයෙන් සංක්‍රමණය වෙමින්, සමස්‌ත පෘථිවි තලය ම සිය අණසක යටතට ගත්තේ, බාහු බලයෙන් නො ව සිය ඉගෙනීමේ හැකියාව සහ සංස්‌කෘතික පෝෂණය මඟින් ලබා දුන් මහා බුද්ධි මහිමයේ ආනුභාවයෙනි.

ජීව විද්‍යාත්මක යුගය

ජීව විද්‍යාත්මක වශයෙන් අපි මෙලොව සිටින බුද්ධිමත් ම ජීවී කණ්‌ඩායම ද, වඩාත් ම වේගයෙන් අනුවර්තනය විය හැකි ජීවී වර්ගයා ද වෙමු. අපට මෙකී සුපිරි හැකියාව ලබාගැනීමට ගත වී ඇති කාලය අවරුදු බිලියන ගණනකි.

ඒ කාලය තුළ, රාත්තල් තුනක පමණ ස්‌නායු පොදියක්‌ වන අපගේ මොළයේ වර්ධනය ද, දෙපයින් නැඟී ඇවිදීමේ හැකියාව ද, එබැවින් බොහෝ හුරුබුහුටි නිමැවුම් කළ හැකි වනු පිණිස දෑත නිදහස්‌ කිරීම ද මෙකී ජීව විද්‍යාත්මක වර්ධන අවධියේ දී සිදු විය. මානවයාගේ එකී භෞතික ස්‌වරූපය ඔහුගේ පසුකාලීන ජයග්‍රහණ සඳහා අත්‍යවශ්‍ය වූ සාධකයක්‌ විය.

දඩයම් කිරීම සඳහා ආයුධ භාවිත කිරීම ඉගෙනීමට හෝමෝ සේපියන්ස්‌ මානවයා හට තවත් අවරුදු ලක්‌ෂයක්‌ පමණ ගත විය. දුනු ඊතල භාවිත කිරීම පිළිබඳ පළමු සාක්‌ෂs අනුව මීට වර්ෂ 62,000කට පමණ පෙර අප ඒ ආයුධ භාවිත කොට තිබේ. ධාන්‍ය ඒකරාශි කරන්නට පුරුදු වී සිටි මිනිසා, ධාන්‍ය වගා කිරීමට සහ සතුන් හීලෑ කිරීමට පුරුදු වූයේ මීට වර්ෂ දස දහසකට පෙර දී ය.

තැනින් තැන ගිය ජීවිතය හැර දමා, කෘෂිකාර්මික යුගයකට පිවිසීම මනුෂ්‍යත්වයේ ඉතා වැදගත් සන්ධිස්‌ථානයකි. එදා පටන්, තමාට එදිනෙදා අවශ්‍ය ප්‍රමාණය සොයාගන්නවා වෙනුවට, අනාගතය සැලසුම් කිරීමටත්, එමඟින් ඉදිරියේ දී ආහාරයට ගැනීමට අවශ්‍ය දේ වගා කිරීමටත්, එසේ ලැබෙන අතිරික්‌තය ගබඩා කරන්නටත් අපි උගත්තෙමු.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද, මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ආදී මානවයාගේ මුල් කාලීන ශිෂ්ටාචාර ජල ප්‍රවාහයන් ආශ්‍රිත ව බිහි වූයේ මෙකී කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාගැනීමට බව ද අපි දනිමු. අප මෙතෙක්‌ ලබා ඇති සියලු ජයග්‍රහණ, එදා ගංගා නිම්න ආශ්‍රිත ව ගොඩනැඟුණු ශිෂ්ටාචාර ආශ්‍රයෙන් බිහි වුණු අධ්‍යාපනික සහ සංස්‌කෘතික පදනම මත ස්‌වභාවධර්මය පාලනය කිරීමේ ප්‍රතිඵලයක්‌ යෑයි කිව හැකි ය.

සංස්‌කෘතික යුගය

කෘෂිකර්මය උගත් දා පටන්, පෙර නො වූ විරූ අන්දමින් ස්‌වභාවධර්මය අපගේ සිතැඟි පරිදි පාලනය කිරීමට අවශ්‍ය අතිරික්‌ත මානව සම්පත නිර්මාණය කරගැනීමට මනුෂ්‍ය වර්ගයාට හැකි විය. අස්‌වැන්නේ අතිරික්‌තය බෙදාගැනීමේ ක්‍රම බිහි වූ අතර, එබැවින් ආහාර නිෂ්පාදනය සඳහා ක්‌ෂේත්‍රයේ වැඩ කිරීමෙන් තොර ව, ඒවා පරිභෝජනය කරන කණ්‌ඩායමක්‌ බිහි වීමෙන් ශිෂ්ටාචාරයක්‌ ගොඩනැඟීමේ විවිධ කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය විය.

ඉගෙනීමට කැප වූ පිරිසක්‌ ද, ආරක්‌ෂාව සඳහා පිරිසක්‌ ද, කලා නිර්මාණ කරන පිරිසක්‌ ද වශයෙන් පුළුල් සංස්‌කෘතියක්‌ බිහි වූයේ කෘෂිකර්මය ආරම්භ වීමෙන් අනතුරු ව ය. අද දක්‌වා ම මානව ප්‍රගමනයේ ගාමක බලවේගය නම්, මෙසේ අධ්‍යාපනය සහ සංස්‌කෘතිය මඟින් ලබා දෙන පුහුණුව භාවිත කර නව ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යැමට කටයුතු කිරීමයි.

සැබැවින් ම අපි බොහෝ දුර පැමිණ සිටිමු. මීට වර්ෂ හැට දහසකට (60,000) පමණ පෙර සතුන් දඩයම් කිරීමට යොදාගත් ගල් ආයුධයක්‌ සහ වර්තමාන පරිගණක මවුසයක්‌ ගැන සිතා බලන්න. ගල් ආයුධය යම් තනි පුද්ගලයකු බොහෝ කාලයක්‌ තිස්‌සේ ගලින් ගල ගසා මුවහත් කොට අතට හොඳින් අල්ලාගත හැකි පරිදි සකසා ගත්තකි.

එය නිර්මාණය කිරීමට ඔහුට සති ගණනක්‌ වැය කරන්නට සිදු වන්නට ඇත. එහෙත් ඒ ප්‍රමාණයේ ම හොඳින් අතට අල්ලාගත හැකි මවුසයක්‌ යනු ලොව බොහෝ රටවල මිනිසුන් එකතු වී සිදු කළ සාමූහික නිර්මාණයකි. ඒ නිර්මාණය පිටුපස ඇති දැනුම මිනිසුන් දහස්‌ ගණනකගේ සාමූහික නිර්මාණයකි.

ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කරන්නාගේ සිට මවුසයේ මෘදුකාංගය නිර්මාණය කරන්නා දක්‌වා ඇති දැනුම හරස්‌කඩ ඉතා පුළුල් වෙයි. එමෙන් ම, මවුසය නිර්මාණය සඳහා අප යොදාගන්නා වර්තමාන දැනුම පිටුපස, එදා ගල් ආයුධය තැනූ පුද්ගලයාගේ දැනුම ද ගැබ් වී තිබේ. එදා ඔහු ගල් ආයුධය නො තනන්නට, අද අප මවුසයක්‌ නිර්මාණය කරනු ඇත් ද, නිර්මාණය කළේ නම් එය කෙසේ වනු ඇත් ද? සැම මිනිසකුට ම තම පරිසරයෙන් උගත හැකි ය.

එමෙන් ම, එසේ උගත් දේ පරම්පරාවෙන් පරම්පාරවට සම්ප්‍රේෂණය කළ හැකි ය. අප මෙතෙක්‌ ලැබූ මානව විජයග්‍රණයන්ගේ පදනම එකී, ඉගෙනීමේ සහ උගත් දැනුම සංස්‌කෘතික වශයෙන් පරම්පරානුගත ව පරිවහනය කිරීමේ හැකියාවයි. හෝමෝ සේපියන්ස්‌ මානවයා මෙතෙක්‌ පැමිණි ගමන සංස්‌කෘතික යුගයක්‌ ලෙස නම් කළ හැකි නම්, මින් ඉදරියට අප යන්නේ කොහේ ද?

තාක්‌ෂණික යුගය

මිනිසාගේ ප්‍රගමනය සඳහා තම ජීව විද්‍යාත්මක පසුබිමත්, සංස්‌කෘතික පදනමත් භාවිත කර තිබෙන පැහැදිලි ය. අපගේ භෞතික ස්‌වරූපය අප උපතින් ගෙනෙන අතර, අපගේ දැනුම අප පාසල්, විශ්වවිද්‍යාල, ආගම, පවුල ආදි විවිධ සංස්‌කෘතික මූලාශ්‍රයන් ගෙන් උගනිමු. මෙසේ උපතින් හිමි වූ දැ සහ සංස්‌කෘතික ව උගත් දෑ, මිනිසාගේ සැබෑ ස්‌වරූපය සහ හැකියාවන් තීරණය කරයි.

මිනිසා මෙතෙක්‌ තාක්‌ෂණය භාවිත කර තිබෙන්නේ තම පැවැත්මෙන් බාහිර වූ දෙයක්‌ වශයෙනි. එනම්, උපකරණ සහ මෙවලම් ලෙසින් ය. එහෙත්, නවීන තාක්‌ෂණය ඒ තත්ත්වය වෙනස්‌ කරමින් තිබේ. විශේෂයෙන් ම, අද වන විට ළදරු මට්‌ටමේ ඇති තාක්‌ෂණික පර්යේෂණ ක්‌ෂේත්‍ර කිහිපයක සොයාගැනීම් විසින් අපගේ සමස්‌ත පැවැත්මේ ස්‌වභාවය වෙනස්‌ කරනු ලැබිය හැකි ය.

ඒ නව පර්යේෂණ ක්‌ෂේත්‍ර අතරින්, කෘත්‍රිම බුද්ධිය, ජෛව තාක්‌ෂණය, නැනෝ තාක්‌ෂණය ප්‍රධාන වේ. වර්ෂ 2016 දී පළ කෙරුණු Life 3.0 නම් සුවිශේෂී ග්‍රන්ථයේ තේමාව වූයේ, මෙසේ ඉදිරියේ දී මිනිසාගේ පැවැත්මෙහි කොටසක්‌ ලෙස මිනිසා විසින් නිර්මාණය කරන ලද තාක්‌ෂණය වර්ධනය වීමේ හැකියාවයි. එහි කර්තෘවරයා වන මැක්‌ස්‌ ටෙග්මාර්ක්‌ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ MIT සරසවියේ සේවය කරන ස්‌වීඩන-ඇමෙරිකානු මහාචාර්යවරයෙකි.

Life 3.0 යන සංකල්පයෙන් ඔහු අදහස්‌ කරන්නේ, අප ඉදිරියේ දී සංස්‌කෘතික යුගයෙන් නික්‌මී තාක්‌ෂණික යුගයකට එළඹීමට නියමිත බවයි. ග්‍රන්ථයෙහි තේමා පාඨය නම් ‘Being Human in the Age of Artificial Intelligence’ (කෘත්‍රිම බුද්ධි යුගයේ දී මානවයකු වීම) ය. ඒ යුගයේ ලක්‌ෂණය නම්, සාමාන්‍ය මානව බුද්ධියේ හැකියාව පරයා යැමට කෘත්‍රිම බුද්ධියට හැකි වීමයි.

මිනිස්‌ බුද්ධියේ සීමා

මිනිස්‌ බුද්ධියේ සීමා පිළිබඳ පළමුවරට ලොව කැළඹූ සිදු වීම නම්, ලොව මෙතෙක්‌ බිහි වූ අග්‍රගණ්‍ය ම චෙස්‌ ක්‍රීඩකයා ලෙස සැලකුණු රුසියානු ජාතික ගැරී කැස්‌පරොෆ් IBM සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Deep Blue පරිගණකය හමුවේ පරාජයට පත් වීමයි. ඒ 1997 වර්ෂයේ දී ය.

එම සිදුවීම, අනාගතය පිළිබඳ ව නවතම රූපයක්‌ නිර්මාණය කළ අතර, මිනිසාට තම බුද්ධියෙන් කළ හැකි දේ සීමිත බවත්, කෘත්‍රිම බුද්ධිය විශේෂ කටයුතු සඳහා භාවිත කරගැනීමෙන් ජීවිතය වඩාත් පහසු සහ ඵලදායී කරගත හැකි බවත් ඒත්තු ගියේ ය. ඩීප් බ්ලු පරිගණකය සතු ව තිබුණු දත්ත විශ්ලේෂණ හැකියාව හා සැසඳීමේ දී වර්තමානයේ පවතින බොහෝ කෘත්‍රිම බුද්ධි පද්ධතීන් සතු ව සුවිසල් ධාරිතාවක්‌ පවතී.

මිනිසාගේ බුද්ධියට සිදු කළ හැකි ඕනෑ ම කාර්යයක්‌ සිදු කළ හැකි වන කෘත්‍රිම බුද්ධිය හැඳින්වනුයේ ‘කෘත්‍රිම පොදු බුද්ධිය’ AGI (Artificial General Intelligence) ලෙසිනි. එවන් මානව-සම බුද්ධියන් නිර්මාණය වුව හොත්, එය තම පැවැත්ම පිළිබඳ ව සවිඥානික වීම අනිවාර්ය ලක්‌ෂණයකි.

එමෙන් ම, තම බුද්ධිය මෙහෙයවා ඉගෙනීමටත්, තමාට අවශ්‍ය මෙවලම් නිර්මාණය කිරීමටත්, තමාට ම ආවේණික අභ්‍යන්තර ආකෘති නිර්මාණය කරගැනීමටත් සමත් වීම, එවන් කෘත්‍රිම බුද්ධියක්‌ මානව හැකියාව අභිබවා ගොස්‌ ස්‌වාධීන පැවැත්මක්‌ ඇති කරගැනීමේ අවස්‌ථාවකි. එසේ වර්ධනය වන බුද්ධිය, තම ප්‍රයෝජනයට ගැනීමෙන්, මිනිසා හට තම ජීවිතය පෙර නො වූ විරූ අන්දමින් සුත කරගත හැකි වනවා මෙන් ම, මිනිස්‌ පැවැත්ම සහ ස්‌වභාවය අභියෝගයට ලක්‌ කිරීමේ අවදානම ද ඇති බව බොහෝ විද්වතුන්ගේ සාකච්ඡාවට බඳුන් වේ.

අවස්‌ථා සහ අභියෝග

කෘත්‍රිම බුද්ධිය බිහි වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස, මිනිසා විසින් මෙතෙක්‌ සිදු කරන ලද කාර්යයන් ඉටු කිරීමට යන්ත්‍ර භාවිත කිරීමට හැකි වේ. එමෙන් ම, මිනිසා හට ඉටු කළ නො හැකි වූ කාර්යයන් ඉටු කිරීමට එය යොදාගත හැකි වේ. නිදසුනක්‌ ලෙස, මිසයිලයක්‌ එහි ඉලක්‌කය වෙත ළඟා වනු පිණිස කෘත්‍රිම බුද්ධිය භාවිත කරන අවස්‌ථාවක්‌ සිතමු.

මෙතෙක්‌ ඇති තාක්‌ෂණය අනුව, මිසයිලයක්‌ මුදා හළ පසු අතරමැද දී එහි ගමනාන්තය වෙනස්‌ කිරීමට මිනිසාට නොහැකි ය (තාප-සංවේදී මිසයිලවලට උණුසුම සොයා යා හැකි මුත් ඒ පෙර තබා නිර්ණය කරන ලද්දකි).

එහෙත්, කෘත්‍රිම බුද්ධිය භාවිත කරන මිසයිලයක්‌ ඉතා භයංකර ආයුධයක්‌ වනු ඇත (පසුගිය ජූනි මාසයේ දී, ගූගල් සමාගමේ සේවකයන් ගෙන් එල්ල කෙරුණු බලවත් විරෝධය හේතුවෙන් ඇමෙරිකානු ආරක්‌ෂක අංශ සමඟ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ව සිදු කෙරෙමින් තිබෙන පර්යේෂණයක්‌ සම්බන්ධ ගිවිසුමක්‌ ලබන වසරේ දී දීර්ඝ නො කරන බව නිවේදනය කෙරිණි).

කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්‌ෂණය සහ වෙනත් කාර්මික සංවර්ධනයන් විසින් අභියෝගයට ලක්‌ කෙරෙනු ඇති රැකියා බොහෝ තිබේ. පසුගිය වර්ෂයේ දී මැකෙන්සි ආයතනය සිදු කළ පුරෝකථනයකට අනුව, වර්ෂ 2030 වන විට ලොව පුරා රැකියා මිලියන 800ක්‌ යන්ත්‍ර මඟින් ඉටු කිරීමට ඉඩ තිබේ. එබැවින්, කෘත්‍රිම බුද්ධියේ වර්ධනයත් සමඟ ඇති කෙරෙන නව අභියෝගයන්ට අපගේ සූදානම සොයා බැලිය යුතු ය.

වඩාත් සංකීර්ණ ගැටලුව නම්, කෘත්‍රිම බුද්ධිය ස්‌වාධීන පැවැත්මක්‌ සහිත මට්‌ටමකට වර්ධනය වුව හොත් එමඟින් අපගේ පැවැත්මට ඇති කෙරෙන තර්ජන කෙබඳු විය හැකි ද යන්නයි. එමෙන් ම, මිනිසාට අද අප මානවයා දකින ස්‌වරූපයෙන් දිගට ම පවතිනු හැකි වේ ද?

නොඑසේ නම්, කෘත්‍රිම බුද්ධිය විසින් ලබා දෙනු ලබන පහසුකම් හේතුවෙන්, කිසිදු මානවයකුට කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට බද්ධ නො වී ජීවත් විය නොහැකි තත්ත්වයක්‌ ඇති වනු ඇද්ද? කෘත්‍රිම බුද්ධිය වෙනත් තාක්‌ෂණික වර්ධනයන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේ ද? එකී සුසංයෝගයන් කෙසේ නම් මානව ජීවිතය වෙනස්‌ කරනු ඇද්ද? මෙවැනි ගැටලු සමුදායක්‌ අප හමුවේ ඇති අතර, ඒවා ගැන මීළඟ ලිපියෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top