මී මැසි රැඟුම්
ඔබ මී පැණි රස බලා ඇති නේද? මී මැස්සෝ මී පැණි නිෂ්පාදනය කරන්නේ මල් වල යුෂ වලිනි.


මී මැස්සෝ මල් මත වසනු ඔබ දැක ඇති. එත්, මෙලෙස එක් මී මැස්සෙක් මල් ගොමුවක් සොයා ගත් විට, ඌ ඒ බව මී වදයේ අනෙක් මැස්සන්ට දැනුම් දෙන්නේ කෙසේද? එය වූ කලි සංකීර්ණ සමාජ චර්යාවකි.
මී මැස්සෝ මී පැණි නිෂ්පාදනයට සුදුසු පුෂ්ප සමූහයක් සොයා ගත් විට, ඒ බව වදයේ අනෙක් වැඩකාර මැස්සන්ට සන්නිවේදනය කිරීමට “මී මැසි නැටුම” හෙවත් bee dance නම් සංකීරණ සන්නිවේදන මාර්ගයක් භාවිතා කරති. ඒ මාර්ගයෙන් ඔවුන් පුෂ්ප ඇති තැන නිවැරදි දුරවල් සහිතව අනෙක් මැස්සන්ට සන්නිවේදනය කරයි.
එය සිදු වන්නේ මේ අකාරයටය. මී මැස්සෙක් පැණි සහිත හොඳ පුෂ්පයක් සොයා ගත් විට, ඒ මත වසා මී පැණි උරා බොයි. ඉන් පසුව ඌ වදයට පියඹා ගොස්, ඒ මී පැණි වමාරා මී වදයේ අනෙක් මැස්සන් සමඟ බෙදා ගනී. එලෙස, මී මැස්සෝ බොහෝ ප්රමාණයක් පණිවිඩය ගෙනා මැස්සා වටා රොක් වූ පසු ඌ විශේෂ නැටුමකින් පුෂ්ප ප්රභවය පිළිබඳ විස්තර සන්නිවේදනය කරයි.
මෙහිදී නැටුම් වර්ග දෙකක් භාවිත වේ. එකක් round dance හෙවත් වක්ර නැටුම ලෙසද, අනෙක waggle dances (වැගල් නැටුම) ලෙසද, හඳුනාගෙන ඇත. නැටුමේ තීව්රතාවය, ඔවුන් සොයා ගත් පුෂ්ප ප්රභවයේ ගුණාත්මක භාවයට සහ ප්රමාණාත්මක භාවයට සමානුපාතික වේ.
තත්ත්වයෙන් උසස් ප්රභව වඩා හොඳ, දීර්ඝ නැටුමකට මුලපුරන අතර, තත්ත්වයෙන් අඩු ප්රභව, ඉක්මන් කෙටි නැටුම් වලට මුලපුරයි. නැටුම දීර්ඝ වූ විට මැස්සෝ වැඩි සංඛ්යාවක් පළමු මැස්සා වටා රොක් වේ. නැටුම කෙටි වූ විට අඩු සංඛ්යාවක් රොක් වේ. මෙසේ, හොඳ පුෂ්ප ප්රභව වෙතට යාමට ලොකු බල ඇණියකුත්, එතරම් හොඳ නොවන පුෂ්ප වෙතට යාමට අඩු බල ඇණියකුත් නර්මාණය වේ.
වක්ර නැටුම
පුෂ්ප ප්රභවයන් වදයට මීටර 25 – 100 දක්වා ඇතීන් තිබෙන විට, මී මැස්සෝ මෙම නැටුම රඟති. උන් මෙය සිදු කරන්නේ, වක්ර ආකාරයට වදය තුල දුවමිනි. කෙසේ වෙතත්, මෙම නැටුමෙන් පුෂ්ප ප්රභවයේ දිශාව පිළිබඳ ඉඟියක් නොලැබේ. එමනිසා මී මැස්සෝ සෑම දිශාවකම පියඹා යති.
නමුත්, මෙලෙස පුෂ්ප ප්රභවය ළඟපාත ඇති විට, එයින් පළමු මැස්සා පැණි ගෙන වැමෑරූ විට, ඇතැමුන් ඒ මාර්ගයෙන් පුෂ්ප වර්ගය හඳුනා ගනී. ඇතැම්විට, පළමු මැස්සා පුෂ්ප ගොමුවේ, ඌගේ ග්රන්ථියකින් ශ්රාවයක් ඉතුරු කර එන අතර, අනෙක් මැස්සෝ එය සොයා පියඹා ගොස් මල් ගොමුව සොයා ගනිති.
වැගල් නැටුම
පුෂ්ප ගොමුව වඩා ඈතින් තිබෙන විට, ඒ බව සන්නිවේදනය කරන්නට උන් මෙම වැගල් නැටුම රඟයි. එය අටේ ඉලක්කම හැඩය ගනී. වීඩියෝව බලන්න. මෙම නැටුමෙන් ප්රභවයේ දිශාවත්, ඒ කරා පියඹීමට අවශ්ය ශක්තිය පිළිබඳවත් ඉඟියක් ලැබේ. දුර තීරණය වන්නේ, එක අටේ ඉලක්කමක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය අනුවයි. දිශාව තීරණය වන්නේ, 8 ඉල්ලක්කමේ මැද රේඛාව හිරුගේ පිහිටීමට සාපේක්ෂව දක්වන ආනතියෙනි.
යාළුවන්ටත් බලන්න SHARE කරන්න