News

සිංහරාජයට යාබද වනයක විෂ යොදාගෙන ගස් විනාශ කිරීමේ ජාවාරමක්

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට යාබද කලවාන – කුඩුමීරිය යෝජිත රක්ෂිතය ආසන්නයේ ඉඩමක පිහිටි ශාක රසායනික ද්‍රව්‍ය යොදා මරාදමා ඇති බවට තොරතුරු වර්තා වී ඇත.

වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය සදහන්කර සිටින්නේ පෞද්ගලික සමාගමක් විසින් ආනයනික වල්ලාපට්ටා වගා කිරීම සදහා මෙලෙස ශාක වලට හානිකර ඇති බවයි.

විෂ රසායනිකය ඇතුල් කර ඇත්තේ එම ශාකයන් සිදුරු කර එම සිදුරු තුළට අදාළ විෂ ද්‍රව්‍යන් ඇතුළත් කිරීමෙන්ය.
මෙම ගස් මරා දැමීමට යොදා ගත් රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වුවහොත් එම ගම්මාන වල ජීවත් වන ජනතාවගේ සෞඛ්‍යට තර්ජනයක් එල්ල විය හැකි බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය අනතුරු අගවයි.

ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය ….

ශ්‍රී ලංකාවේ පවතින එකම ලෝක උරුම වනාන්තරය වන සිංහරාජ රක්ෂිතය මේ වන විට හෙක්ටයාර 11,000 කට අධික වපසරියකින් සමන්විත උවද සිංහරාජය වටා සමන්විත පරිවාර රක්ෂිත සමගින් අතීතයේදී මේ වනාන්තරය විශාල ප්‍රදේශයක් පුරාවට ව්‍යාප්තව තිබී ඇත. විවිධ වූ සංවර්ධන ක්‍රියාවන් වල ප්‍රථිඵල වශයෙන් සිංහාරජය වටාවට පරිවාර රක්ෂිත රැසක් බිහි වී ඇති අතර සිංහාරජය හා සමාන ඉහල ජෛව විවිධත්වයක් මේ රක්ෂිත තුළද දැකිය හැකිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරය සිංහරාජ පරිවාර වනන්තරයක් වන දෙල්වල වලන්කන්ද රක්ෂිතයේ නිරිතදිග බෑවුමට මුහුණලා ඇත. මෙම රක්ෂිතය මෑත කාලයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා විශාල වශයෙන් එලිපෙහෙලි වන්නට පටන් ගෙන ඇත. පසු ගිය කාලයේ දිගින් දිගටම විනාශයන් වූ අතර එය වැලක්වීමට රාජ්‍ය ආයතන විශාල වෙහෙසක් ගන්නා ලදී. එවන් පසුබිමක සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම විසින් මේ වන විට එම රක්ෂිතය විස රසායන ද්‍රව්‍යය යොදාගනිමින් විනාශ කරන බවට ගම්වාසීන් පවසයි.

වටිනාකමින් ඉහල විශාල ගස් සැලසුම් සහගත පිරිසක් මගින් යන්ත්‍ර යොදාගනිමන් සිදුරු කර ඒතුලට විස රසායන ද්‍රවය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුලට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්භාවිකව මැරුණු බව පෙන් වීමට උත්සහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කල හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකිය.

දැනටමත් විශාල හානියක් සිදු වී ඇති කුඩුමීරිය වැසි වනාන්තරය වාහනයකින් ලඟාවීමට අපහසු දැඩි කඳුකර කඳුවළල්ලකින් සැඟව අති භූමියකි. කුඩා ගඟත්, දෙල්ගොඩ ගඟත් පෝෂණය කරන ප්‍රධාන ජල පෝශක ප්‍රදේශයක්ය. එය වටා වැද්දාගල, කත්ලාන, රඹුක ඇතුලු ගම්මාන රැසක් පිහිටා ඇති අතර එම ගම්මාන තුල ජීවත් වන දහස් ගණනකගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ පැවැත්මට කුඩුමීරිය වැසි වනාන්තරය සෘජුවම දායක වේ.

එසේම, වනාන්තරය මරාදැමීමට යොදනු ලබන රසායන ද්‍රව්‍ය ජලයට එකතුවී ජනතාව පරිභෝජනය කරන ජලමුලාශ්‍ර වලට ඇතුළු වීම තුලින් ඔවුන් විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දිය හැකිය.

මෙම රක්ෂිත ප්‍රදේශයේ ජෛව විවිධත්වය සලකා බලා පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන විට සිදු කර ඇති අතර අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ශාවක්ද කර වාර්තාවන් සකසා ඒ පිළිබඳ අදාළ කටයුතු කෙරෙමින් පවතී. ඒසේ සිදුවන වටපිටාවක් තුල මෙම වනාන්තරය විස රසායන මගින් විනාශ කිරීම බරපතල අපරාධයකි.

ඒ අනුව වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම දිගින් දිගටම දැනුවත් කර ඇති අතර මෙම විනාශය පිලිබඳවද එම සමාගමට හා අදාල ආයතන කීපයක් වෙත ලිපියොමුකර ඇත. මෙලෙස වටිනා රක්ෂිත කලාපයක් ඉතාමත් සාහසික අයුරින් විනාශ කරන අයවලුන් පිළිබඳ සොයා බලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන මෙන් අදාල බලධාරීන්ගෙන් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ඉල්ලා සිටී.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top