පෙරවරුවේ ශ්‍රීපාදය උඩමළුවට ගිය මට එහි මුරකරු මූර්තිට අමතරව තවත් අමුත්තන් දෙදෙනෙකු හමුවිය. ඒ සුනඛ ධේනුවක් සහ මාස තුනක් වන සුනඛ පැටවෙකි. වරින් වර පැමිණෙන විදේශිකයන් සහ ඉතා කලාතුරකින් පැමිණෙන දේශීය සංචාරකයන් කිහිප දෙනෙකු හැරුණු කොට එහි වෙසෙන මුරුකරුවන් දෙදෙනා සමඟ අවාරයේ ශ්‍රී පාදස්ථානයට ආරක්ෂාව සලසන මෙම සුනඛ ධේනුව සහ තුන්මසක් පමණ වයසැති සුනඛ සිඟිත්තා මගේ විශේෂ අවධානයට ලක් විය.

අධික සීතලේ ගැහෙමින් මුරකරුවන් දෙන කුමක් හෝ ආහාරයකින් සැනසී උඩමලුවට වී දිවි ගෙවන මෙම සුනඛයන් දෙදෙනාගෙන් සුනඛ සිඟිත්තා එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සමඟ වරින් වර නල්ලතන්තිය දක්වාම පැමිණ නැවතත් සිරිපා තරණය කරන එවන් කණ්ඩායමක් සමඟ උඩමලුවට ඒම සාමාන්‍ය සිද්ධියකි. ඒ අතර මගදී ඔවුන්ගෙන් ලැබෙන කුමක් හෝ කෑමකින් සෑහිමකට පත්වන මෙම සුනඛ සිඟිත්තා එවැන්නක් නොලැබුණද සිතේ කිසිදු කහටකින් තොරව නැවතත් සිරිපා තරණය කරන කණ්ඩායම් එනතුරු හිමයේ පාමුල රැදී සිටීමට පුරුදුව සිටී.
ලබන උදුවප් මාසයෙන් ඇරඹෙන ශ්‍රීපාද වන්දනා සමයේ ඇතිවන ජනාකීර්ණ බවත් සමඟ මොවුන්ගේ චර්යාවන් මීට තරමක් වෙනස් විය හැකි මුත් කටුක කාලගුණික සහ දේශගුණික තත්වයන් යටතේ අවාරයේ සිරිපා මලුවේත් සිරිපා කරුණා කරන සංචාරකයන්ගේත් තනි නොතනියට සිදින මෙම සුනඛ හිතවතුන් දෙදෙනා අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු යැයි මට සිතේ.





යාළුවන්ටත් බලන්න SHARE කරන්න