News

ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් උපදෙස් ගත්තාද ?

වත්මන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී සංවිධානය කෙරෙන මැතිවරණ රැළි ඇතුළු දේශපාලන රැළිවලට මෙච්චරක් පැමිණි බව අච්චරක් පැමිණි බව පැවැසීමට දේශපාලකයෝ උනන්දු වෙති.

Image result for trump

ඔවුන් එලෙස පැමිණි හෝ සහභාගී වූ ජන සංඛ්‍යාව තම පක්ෂයට ඇති කැමැත්ත ප්‍රකාශ කරන සාධකයක් බවට පත් කරගෙන තිබේ. ඔවුන් ඔළුගෙඩි ගණන එතරම් වැදගත් සාධකයක් කරගත්තද දේශපාලන පක්ෂයකට, ආණ්ඩුවකට හෝ විපක්ෂයකට හෝ මොනයම් හෝ පක්ෂයට ඇති ජන ප්‍රසාදය එමඟින් තීරණය කළ නොහැකි බව පසුගිය වසර තුන හතරක කාලය දෙස බැලීමේදී මෙරටින්ම ඕනෑ තරම් උදාහරණ සපයා ගත හැකිය.

මැතිවරණ රැළි ආදී දේශපාලන රැස්වීම්, රැළි හා විරෝධතාවලට පැමිණෙන ජන සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කිරීමටත් වැඩි සංඛ්‍යාවක් පැමිණි බවටත් පැවැසීමට මෙරට දේශපාලකයෝ බොහෝ උත්සාහ ගනිති. එවැනි රැස්වීම් පැවැත්වුණු පසුව සංස්කරණය කරන ලද ඡායාරූප විශාල වශයෙන් සමාජ මාධ්‍යය තුළත් අන්තර්ජාලය තුළත් එහා මෙහා හුවමාරු වන අයුරු අපට පසුගිය දින කිහිපයේදීත් හොඳින් දක්නට ලැබිණි.

එවැනිම ආකාරයේ පුවතක් අපට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. තම දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූවාට වඩා වැඩි ජනතාවක් සහභාගී වූ බව පෙන්වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අවශ්‍ය වී තිබූ බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණ ඇත්තේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූවාටත් වඩා අඩු ජනතාවක් බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තේරුම් ගිය බවත් ඒ අනුව විශාල පිරිසක් පැමිණි පෙන්වීමට ඔහුට අවශ්‍ය වූ බවත් එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ අපට තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතියට සමානම පනතක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව සතුය. තොරතුරු නිදහස යනුවෙන් හැඳින්වෙන එම පනත යටතේ ‘ද ගාඩියන්’ පුවත්පත අදාළ ලියකියවිලි තමන් සතු කරගනිමින් ඉහත තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එවකට ධවල මන්දිර මාධ්‍ය ලේකම් (ධවල මන්දිර ප්‍රකාශක) ෂෝන් ස්පයිසර් වැඩි ජනගහනයක් පෙන්නුම් කරන අයුරින් ඡායාරූප සංස්කරණය කරන්නැයි දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ඡායාරූපශිල්පියෙකුට දුරකතන ඇමතුම් ලබා දී ඇති බව එමඟින් අනාවරණය වී තිබේ.

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ 2017 වසරේ ජනවාරි 21 වැනිදාය. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් දිනයට පසු දිනයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් එරට ජාතික උද්‍යාන සේවාව භාර අධ්‍යක්ෂවරයා වූ මයිකල් රේමන්ඞ්ස් හා සාකච්ඡා කර ඇත.

ෂෝන් ස්පයිසර් ජාතික උද්‍යාන සේවාවේ තවත් නිලධාරියකුට ද දුරකතන ඇමතුමක් දී ඇතැයි ‘ද ගාඩියන්’ පුවත්පත සඳහන් කරයි. දිවුරුම් දීමේ උත්සවයේ මුල් ඡායාරූපවල බොහෝ තැන්වල හිඩැස් තිබී ඇති අතර ඒ නිසා ජනතාව වැඩියෙන් පෙනෙන අයුරින් පෙනෙන ඡායාරූප ජනාධිපතිවරයාට අවශ්‍ය යැයි ෂෝන් ස්පයිසර් අදාළ නිලධාරියාට පවසා ඇත. ෂෝන් ස්පයිසර් ජාතික උද්‍යාන සේවාවේ තවත් නිලධාරියකු සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි පෙර කී නිලධාරියා පැවැසූ බව ‘ද ගාඩියන්’ පුවත් වාර්තාව සඳහන් කරයි.

‘ද ගාඩියන්’ පුවත්පත අනාවරණය කරගන්නා ලද තොරතුරුවලට අනුව රාජ්‍ය ඡායාරූප ශිල්පියා, වැඩි ජනතාවක් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ අයුරු පෙනෙන පරිදි ඡායාරූප සංස්කරණය කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් අදාළ ඉල්ලීම කර ඇත්තේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා 2009 වසරේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් උත්සවයේ ඡායාරූප සැසඳීමෙන් අනතුරුව බව ද තවදුරටත් අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් සංස්කරණය කරන ලද ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේ ද නැද්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

එහෙත් ජනාධිපති ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ජන සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උත්සවයකට සහභාගී වූ වැඩි ජන සංඛ්‍යාව බව ෂෝන් ස්පයිසර් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය.

එහෙත් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා 2017 වසරේ ජූලි මාසයේදී ෂෝන් ස්පයිසර් ධවල මන්දිර මාධ්‍ය ලේකම් (මාධ්‍ය ප්‍රකාශක) තනතුරෙන් ඉල්ලා අස්විය. හෙතෙම එම වසරේ ඉතාම කෙටි කාලයක් ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ධුරය ද හෙබවීය.

– 055
ඬේලිමේල් ඇසුරිනි

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top