මානව ක්රියාකාරකම් හරහා ගෝලීය උණුසුම වැඩි වීමත් සමඟ නිවාස ඇතුළත උෂ්ණත්වය ද ඉතා විශාල ලෙස ඉහළ යමින් පවතිනවා. ඔෆිස් එකේ වායු සමීකරණ යන්ත්රය හිම මිදෙන තරම් සීතල වුණාට නිවාඩු දවසට ගෙදර දී එහි වටිනාකම කියලා නිම කරන්න බැරි තරම් දැනෙනවා. කොච්චර නාගෙන ආවත්, දවසෙම ෆෑන් එක දාගෙන හිටියත් රස්නය දැනීමෙහි නම් අඩුවක් නැහැ.

නිවසේ වායුසමීකරණ යන්ත්රයක් සවි කර ගැනීමට අදහස් කළත් ඒ සඳහා අවශ්ය වන විශාල විදුලි බලය හරහා විදුලි බිලත් ඉහළ යාම සිහි වුණාම ඉතින් තවත් දහඩිය දානවා. බංග්ලාදේශය වෙනුවෙන් ප්රථම වරට හඳුන්වා දුන් “ඉකෝ-කූලර්” නමැති විදුලි බලය අනවශ්ය ස්වාභාවික වායු සමීකරණ පද්ධතිය මේ ගැටලුවට විසඳුම් ගෙනෙනවා.

කොන්ක්රීට්වලින් සකසන ලද නිවාසවල මෙම ගැටලුව නිරන්තරයෙන් පැන නැගුණත් බංග්ලාදේශය වැනි රටවල ටකරන්වලින් සකසන ලද නිවාසවල ජීවත් වන නිසා ඔවුන්ට අපටත් වඩා මෙම ගැටලුව බලපානවා. ලංකාවේ මුඩුක්කු නිවාස බොහොමයක ලෑලි යොදා ඇති නිසා සහ ඇතැමුන් මුහුද ආශ්රිතව ජීවත් වන නිසා අපේ දුප්පත් ජනතාව ඔවුන් තරම් එයට මුහුණ පාන්නේ ද නැහැ.
නමුත් නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් වෙනුවෙන් කැලෑ එළි කිරීම්, නව රුක් රෝපණය සඳහා උනන්දුවක් නොමැති වීම, කර්මාන්තශාලා හා වාහන ආදියෙන් පිටකරන දුම්වලින් නැගෙන කාබන් ඩයොක්සයිඩ් වා තලයට මුසු වී සූර්ය තාපය උරාගෙන රඳවා තබාගෙන වායුගෝලීය උණුසුම වැඩි කරලීම ආදිය හරහා ක්රම ක්රමයෙන් පෘථිවියේ උණ කටුව පුපුරා යන තරම් රස්නය වැඩි වෙමින් යනවා.

තෙල් දහනය හරහා හේතු වන ගෝලීය උණුසුමට පාර කපන්නට තෙල් විකුණන රටවල්, අතරමැදියන් තමන්ගේ මඩිය තර කර ගැනීමේ අරමුණෙන් බැටරි බලය, සූර්ය කෝෂ භාවිතය සම්බන්ධ ව්යාපෘතිවලට වළ කපන්නාක් සේ ම ලෑලි අවශ්ය අය, විකුණන්නන් සහ ගස් කපන්නන් වන සංචිතයන් විනාශ කරගන්නට ද සතුටින් දායක වෙනවා.
“හෙටක් ගැන යමක් නොදකින – හෙටක් තිබේදැයි නොසිතන – කෙනෙක් මධුවිතක් තොල් අග තවර ගන්නවා”යි අමරසිරි පීරිස් මහතාගේ “වලා අතුල සිරියහනේ” ගීතයේ කියැවෙන්නාක් මෙන් හෙට ගැන නොසිතා එදා වේල ටුවර්ස් න්යාය ඇත්තවුන්ට පින් සිදුවන්නට පෘථිවි මාතාව කාන්තාරයක් වෙමින් පවතිනවා. මේ නිසා සැප විඳීමේ හරිත ක්රමවේද පිළිබඳ ලෝකය උනන්දුව වෙමින් පවතිනවා.
“ඉකෝ-කූලර්” පද්ධතියේ ඇත්තේ වයර් ගොඩක්, බැටරියක් සහ සෝලා පද්ධතියක් වැනි අප එදිනෙදා දකින හරිත සංකල්පයන්හි ඇති සාම්ප්රදායික සැකැස්ම නොවෙයි. එය හුදෙක් බෝතල් කපා එකතු කරන ලද පුවරුවක්. බෝතල් කට නිවස ඇතුළටත්, කැපූ කොටස පිටතටත් සිටින සේ ජනේලයක් පරිද්දෙන් ක්රියා කරන්නක්. මෙය හරහා සුළඟ ගලද්දී ඒවා සිසිල්ව ගෙතුළට පිවිසෙනවා. මෙය තුළ ඇති මහා විද්යාව කුමක්ද? එය මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ඔබේ අත්ල මුඛය ආසන්නයට ගන්න. දැන් කට හොඳින් ඇරලා හුළං පිඹින්න. ඔබේ අත්ලට මහත් රස්නයක් දැනේවි.
ඒ, අපේ නිවෙස්වල දැනට තිබෙන ජනේලයකින් හුළං එන ආකාරයයි. ඔබ දැන් කට උල් කරලා තොල් දෙකෙන් හුළං පිඹින්න. සිසිලසක් දැනුණා නේද? අන්න ඒ සරල ක්රියාවලියයි මේ ලොකු ඉංග්රීසි නමකින් ‘ඉකෝ-කූලර්’නම් කර තිබෙන්නේ. මෙය බංග්ලාදේශ පවුල් විසි දහසකට පමණ තමන්ගේ ටකරන් නිවස ඇතුළේ වායු සමීකරණ යන්ත්රයක සිසිලස ලබන්නට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ, ග්රාමීන් ඉන්ටෙල් නමැති තොරතුරු තාක්ෂණ ආයතනයත්, ග්රේ ඩකා නමැති වෙළෙඳ ප්රචාරණ ආයතනයත් අත්වැල් බැඳගෙන එරට කරන ලද ව්යාපෘතියක ප්රතිඵලයක් වශයෙන්.

මෙය ඔබේ නිවසටත් සවි කරගන්න පහසුවෙන්ම පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ ප්රථමයෙන් මිලිමීටර් 2ක් අවම ඝනකම ඇති සවිමත් කාඩ්බෝඩ් එකක් හෝ ‘හාඩ්බෝඩ්’ එකක් අරගෙන එහි මෙගා බීම බෝතලයක කටෙහි ප්රමාණයට සිදුරු කැපීමයි. එහිදී මෙගා බෝතල් සවි වීමට හැකි තරම් දුරින් එනම්, බෝතලේ බඳෙහි අරය ඉතා ස්වල්පයක් ඉක්මවන සේ දුරින් එම සිදුරු විදගත යුතුයි. දැන් ඔබ සොයාගත් හිස් මෙගා බෝතල්වල උපරිම මහතක් ඇති ප්රදේශයෙන් ඒවා කපා පතුල කොටස් නිසි ආකාරව ‘නොදිරන දෑ’යටතේ ඉවතලන්න.
කපා ගත් බෝතල්වල හිස කොටස් සිදුරුවලට සවි කර ගත් විට ස්වාභාවික වායු සමීකරණ යන්ත්රය සූදානම්. මෙය දැඩි සුළඟට ඔරොත්තු දෙන ආකාරයට නිවස තුළට වාතාශ්රය ලැබෙන සේ ජනේලයක් ඉදිරියෙන් සවිකර ගන්න. එවිට නිවස තුළට සෙල්සියස් අංශක පහකින් පමණ පහත වැටුණු සිසිල් වාතාශ්රය ලැබීම සිදුවෙනවා. මෙම සැකැස්මෙහි ප්ලාස්ටික් බට වෙනුවට බෝතල් යොදාගනු ලබන්නේ පීඩනය ඇති කරමින් වායුව සිසිලනයට ලක් කිරීම සඳහායි.
ඒකාකාරී බටයක් තුළින් වාතය ගලද්දී කිසිදු පීඩනය හා උෂ්ණත්ව වෙනසක් සිදු නොවන අතර වැඩි විෂ්කම්භයකින් පිවිසී, එනම් බෝතලයේ මධ්යයෙන් වාතය පිවිසී අඩු විෂ්කම්භයක් ඇති බෝතල් කටින් නික්මෙන විටයි සිසිලනය ඇතිවීම සිදුවන්නේ. මේ නිසා ප්ලාස්ටික් බෝතල් සවි කිරීම නිවසේ අලංකාරයට බාධාවකැයි සිතා වෙනත් යමක් පාවිච්චි කරනවා නම් පීඩන-පරිමා-උෂ්ණත්ව සබඳතාව සලකා බෝතල් අර්ධයෙහි හැඩය සහිත විකල්පයකට යා යුතු වෙනවා.
සාමාන්ය වායු සමීකරණයක සිදු වන්නේ විදුලි බලයෙන් මෝටර් ක්රියා කරවා අභ්යන්තර උණුසුම් වාතය පිටතට යවමින් බාහිර වාතය ගෙන සිසිලනකාරක හරහා යවා ඒවා අභ්යන්තරයට ලබා දීමයි. මෙම ක්රියාවලියේදී ඉතා කුඩා කාමරයක් සිසිලනය කිරීම සඳහා බාහිර පරිසරය උණුසුම් කරලීමට සිදුවන අතර විදුලි බලය විශාල වශයෙන් වැය වීම, නඩත්තු සඳහා නිරන්තරයෙන් මුදල් යෙදිය යුතු වීම ආදිය මෙන්ම වක්රාකාරව ගෝලීය උණුසුම වැඩි කරමින් තමන්ගේ ගොඩනැගිල්ල තුළ පමණක් සිසිල් අවකාශයක් සකසා ගනිමින් කෘත්රීම, තාවකාලික සුවයක් විඳීමයි.
මේවා නිසා සමේ වියළි බව ඇතිවීම, කෙස් වැටීම ආදී සෞඛ්යමය අතුරු ප්රතිඵලයන් ද ඇතිවෙනවා. නමුත් මෙම ඉකෝ-කූලර් අදහස අනුව බාහිර පරිසරයට කිසිදු හානියක් සිදු නොවීම, විදුලි බලයක් අවශ්ය නොවීම, ඉවතලන දෑ භාවිතයට ගැනීමෙන් කසළ කළමනාකරණයට දායක වීම, ස්වාභාවික වායු ධාරාවන් ම නිවස තුළට ලැබීම හරහා පරිසරයට සහ පරිසරයේ ම කොටස් වන අපේ ශරීරවලටත්, පසුම්බියටත් හිතකර ආකාරයට උෂ්ණත්ව පාලනය කිරීමට අවස්ථාව සැලසෙනවා.
යාළුවන්ටත් බලන්න SHARE කරන්න.