ලෝකය

අලුත් කුමාරියටත් කයි කතන්දර

බ්‍රිතාන්‍යයේ තවත් රාජකීය විවාහයක් මැයි මස 19දා පැවැත්විනි. ඒ චාල්ස් කුමරුගේ හා ඩයනා කුමරියගේ බාල පුත්‍රයා වන හැරී කුමරු හා ඇමෙරිකානු නිළියක වන රේචල් මෙගාන් මාකල් අතරය. ලන්ඩනයේ සාන්ත ජෝජ් දෙව්මැදුරේදී පැවැත්වුන දේව මෙහෙයේදී කැන්ටබරියේ රදගුරු හා වින්ඩ්සර්හි ප්‍රධාන දේවගැතිවරයා ඉදිරියේ ඔවුන් තම විවාහ පොරොන්දු ලබා දුන්නේය.

Image result for Prince Harry and Meghan

2017 නොවැම්බරයේ හැරී කුමරු හා මෙගාන් විවාහ ගිවිස ගැනීමත් සමඟ එය ලොව පුරා උණුසුම් පුවතක් බවට පත් විය. ඊට හේතු වූයේ මෙගාන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක නොව සාමාන්‍ය ඇමෙරිකානු කාන්තාවක වීමය. කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස්හි 1981 දී උපත ලද මෙගාන්, වෘත්තියෙන් සිනමා නිළියක වූවාය.

ඇමෙරිකාවේ නෝත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ නාට්‍යකරණය හා ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ උපාධිධාරිනියක වූ ඇය රංගනයට එක්වූයේ රූපවාහිනී මාලා නාටකයක් වූ ‘ජෙනරල් හොස්පිට්ල්’ නමැති ටෙලි නාටකයෙනි. ඉන්පසු ටෙලි නාට්‍ය 20ක පමණ රඟපෑ ඇය රිමෙම්බර් මී, හොරිබල් බොසස් වැනි චිත්‍රපට 10කට පමණ රංගනයෙන් දායක වූවාය. හැරී කුමරු හා විවාහ ගිවිස ගැනීමෙන් පසු තමා සිනමාවෙන් සමුගන්නා බව ඇය ප්‍රකාශ කර තිබේ.

Image result for Prince Harry and Meghan

මෙගාන්ගේ පියා කොකේසියානු සම්භවයක් සහිත තෝමස් මාකල්ය. ඔහු සිනමා කැමරා ශිල්පියෙකි. ඔහුට කලින් විවාහයකින් ලද දරුවන් දෙදෙනෙක් සිටිති. මෙගාන්ගේ මව කළු ඇමෙරිකානු කාන්තාවක වන ඩෝරියා රග්ලන්ඩ්ය. ඇය භෞත චිකිත්සකවරියක හා සමාජ සේවිකාවකි.

මෙගාන් කලින් විවාහ වූ කාන්තාවකි. ඇයගේ කලින් සැමියා ට්‍රෙවර් එංගල්සන්ය. නළුවකු හා චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ඔහු ‘රිමෙම්බර් මී’ නමැති චිත්‍රපටයේ නිෂ්පාදකයා විය. මෙගාන් හා ඔහු මුලින් හඳුනා ගත්තේ 2004දීය. සය වසරක් එක්ව ජීවත් වූ ඔවුහු 2011දී විවාහ වූහ. දෙදෙනා අතර නොගැළපීම් ඇතැයි පැවසූ ඇය දෙවසරකට පසු ඔහුගෙන් වෙන්වූවාය.

ඉන්පසු ඇගේ පෙම්වතා වූයේ කැනේඩියානු ජාතික සූපවේදියකු වන කෝරි විටියෙලෝය. දෙවසරක් පමණ පැවැති එම සබඳතාව 2016දී අවසන් විය.

ඇයට හැරී කුමරු හමු වූයේ 2016දීය. තම මිතුරකුගේ මාර්ගයෙන් එකිනෙකා හඳුනාගත් ඔවුහු පසුව පෙම්වතුන් බවට පත් වූහ. මේ වන විට මෙගාන් 36 හැවිරිදි වන අතර හැරී 33 වැනි වියේ පසුවෙයි.

ඔවුන්ගේ සම්බන්ධය පුවත්පත්වලට විශාල ප්‍රවෘත්තියක් විය. පැපරාසීන්ට එය කදිම පුවතක් වූ අතර ඇතැම් පුවත්පත් ඇය පිළිබඳ අපකීර්තිමත් ප්‍රවෘත්ති ද පළ කරන්නට විය.

මෙම විවාහය සම්බන්ධයෙන් දෙවරක් සිතා බලන මෙන් මෙගාන්ගේ සොහොයුරකු වන තෝමස් මාකල්, හැරී කුමරුට ලිපියක් යවමින් කියා තිබේ. මෙම විවාහය අවලංගු කිරීමට තවමත් පමා වී නොමැති බවද, එය සිදුවුවහොත් රාජකීය විවාහයන්හී සිදු විය හැකි විශාලතම අත්වැරදීම වන බවද ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙගාන් තම පවුල සමඟ එතරම් සමීප සම්බන්ධතාවක් නොපැවැත් වූ බවත්, හොලිවුඩ් නිළියක බවට පත්වීමෙන් පසු බොහෝ දුරට වෙනස් වූ බවත්, ඇය මාන්නයෙන් හිස උදුම්මාගත් තැනැත්තියක බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Image result for prince harry and meghan married

රාජකීය විවාහයකදී මනාලියගේ පාර්ශ්වයේ මව්පියන් වෙත විශාල කාර්ය භාරයක් පැවරේ. එදින උදෑසන ඔවුන් මනාලියගේ මෝටර් රථයෙන් වින්ඩ්සර් මාලිගය වෙත පැමිණිය යුතුය. දියණිය දෙව්මැඳුරට කැඳවාගෙන යා යුත්තේ පියා විසිනි. එහෙත් මේ වන විට හදවත් සැත්කමකට බඳුන්ව සිටින මෙගාන්ගේ පියා මෙම විවාහයට සහභාගි වූයේ නැත.

කෙසේ වුවද මෙගාන්, විලියම් කුමරුගේ බිරිය වන කේට් මිඩ්ල්ටන් මෙන් රජකුමරියක ලෙස පිළිනොගැනෙනු ඇතැයි පැවසේ. එකී නාමය හිමි වන්නේ රාජකීයයන්ට සම්බන්ධ පවුලක උපත ලැබූවන්ට පමණි. එහෙයින් ඇය ආදිපාදවරියක වශයෙන් හැඳින්වෙනු ඇත. විවාහයෙන් පසු හැරී කුමරු සසෙක්ස්හි ආදිපාදවරයා වශයෙන් නම් කෙරෙනු ඇත. බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වූ පළමු දික්කසාද වූ කාන්තාව මෙගාන් නොවේ. පළමු කාන්තාව වොලිස් සිම්ප්සන්ය. ඇය අට වැනි එඩ්වඩ් කුමරුගේ බිරිය වූවාය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top