News

හිටපු ඇමති මර්වින් ඉපලෝගම තැබූ මුල්ගල ගලවා දමයි

ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බැලුම්ගල නම්වූ පුරාවිද්‍යා භූමියක නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර දැමු පුරාවිද්‍යා නටබුන් නිරීක්ෂණය කිරීම සඳහා ඊයෙ (12) හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස තැනීම සඳහා තැබූ මුල්ගල ගලවා ඉවත් කළේය.

මාධ්‍ය මගින් මේ පිළිබඳව හෙළිදරව් කිරීමත් සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායම මෙම ස්ථානයට පැමිණ පුරාවිද්‍යා භූමියේ විනාශය නිරීක්ෂණය කොට මෙය සිදුකළ පිරිසට දැඩි ලෙස දෝෂාරෝපණය කරන්නට ද විය.

එමෙන්ම එම ස්ථානයේ පිහිටි එළාර රජුගේ බැලුම්ගල නම් වූ ගල්ලෙනට මර්වින් සිල්වා මහතා පැමිණි පිරිසගේ ආධාර ඇතිව ගොඩවීම විශේෂත්වයකි.

බැලුම්ගල උඩට නැගී හෙතෙම කියා සිටියේ මෙම ස්ථානය ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති ප්‍රදේශයම නිරීක්ෂණය කළ හැකි ස්ථානයක් බව ය.

විජිතපුර බලකොටුවට ආසන්නයෙන් පිහිටි මෙම බැලුම්ගල ප්‍රදේශයේ පිහිටා තිබූ පහන් ගල නම් වූ ස්ථානයට පැමිණ දුටුගැමුණු රජු වෙනුවෙන් පහන් දල්වා යාඥාවක්ද සිදුකළේය.

පසුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙම ස්ථානයේදී මාධ්‍ය අමතමින් කියා සිටියේ පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර විනාශ කළ පුද්ගලයින්ට වහාම වැඩ තහනමට ලක් කිරීම නොව නීතිය ක්‍රියාත්මක කළයුතු බවයි.

විෂයභාර අමාත්‍යවරයාට එහි වගකීමෙන් මිදීමට නොහැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් යෝජනා කරනු ලබන්නේ වහාම මෙම වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසය. එසේ නොවන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ද මෙහි චූදිතයෙක් වන බව මර්වින් සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බැලුම්ගල ගම්මානයේ පිහිටි විජිතපුර බලකොටුවට සමානකම් කියන බැලුම්ගල ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විවිධ ස්වේච්ඡා සංවිධාන සහ බෞද්ධ සංවිධාන විසින් මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීම ද විශේෂත්වයකි.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top