News

අපේ නාවික හමුදාව ගොඩගත් නෞකාව

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීමය නිපුණත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය බ්‍රිතාන්‍ය රාජකීය නාවික සේවයට අයත් සුප්‍රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 කට පසු නැවත ගොඩ ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයට හැකියාව ලැබිණි.

මීටර් 138 ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහණ නෞකාවක් ලෙස යොදා ගැණුනු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් මස 24 වන දින ප්‍රථම වරට දියත් කොට ඇත. එම නෞකාව 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබියදී ජපාන ගුවන් යානා මඟින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන්ට ලක්වී නෞකාව ගිනිබත් වී ඇත.

එමඟින් නෞකාවට ඇතිවූ හානිය හේතුවෙන් එය අතහැර අමා ඇති අතර, 1943 වර්ෂයේ අගෝස්තු මස 24 වන දින මෙම නෞකාව අනෙකුත් යාත්‍රාවන්ට ජැටියක් වශයෙන් භාවිතා කිරීමට හැකි වන සේ ගිල්වා දැමීමට කටයුතු කොට ඇත.

ත්‍රිකුණාමලය වරාය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැනනැගීම හේතුවෙන් අඩි 35 ක් පමණ මුහුදු පතුලට වන්නට ගිල්වා තිබූ මෙම නෞකාව ගොඩ ගැනීමේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව විසින් ආරම්භ කෙරිණි. එම කර්තව්‍ය නැගෙනහිර නාවික විධානය වෙත පැවරුණු අතර, විධාන කිමිදුම් නිලධාරී, කපිතාන් (කිමිදුම්) ක්‍රිශාන්ත අතුකෝරළ මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධාන කිමිදු ඒකකය විසින් 2017 සැප්තැම්බර් මස 11 වන දින ආරම්භ කරන ලදී.

නෞකාව ගොඩ ගැනීමේ සවිස්තරාත්මක සැළැස්ම විධාන කිමිදුම් නිලධාරී විසින් සකස් කළ අතර, ප්‍රධාන සුළු නිලධාරී (කිමිදුම්) ඒඑල්එන්එස්එස් ලියනගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. පළමුව නෞකාවේ පළුදු වී තිබූ ස්ථාන පිළිසකර කර දිරාපත්ව තිබූ නෞකා සැකිල්ල ශක්තිමත් කිරීමේ කටයුතු සිදු කෙරිණි.

තවද, ගිලී තිබූ නෞකාවේ පිරී පැවති මුහුදු ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීමේ අරමුණ ඇතිව තාවකාලික ජැටියක් ද ඉදිකිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම හා අප්‍රතිහත ධෛර්යේ ප්‍රථිපලයක් ලෙස මාස 05 ක් පුරා සිදු කරන ලද මෙහෙයුම් වලින් අනතුරුව පසුගිය මාර්තු මස 22 වන දින ගිලී තිබූ සගයින් නෞකාව ක්‍රම ක්‍රමයෙන් ජලය මතුපිටට ගනු ලැබීය.

මෙම සුවිශේෂී ක්‍රියාන්විතය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරුණු අතර, ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) සතිෂ්ක පතිරණ සහ ලුතිනන් කොමාණ්ඩර් ශිරාන් බුද්ධික යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් කිමිදුම් අංශයේ නාවිකයන් 98 දෙනෙකුගෙන් සමත්විත කණ්ඩායමක් ඒ සඳහා දායකත්වය දක්වන ලදී.

එමෙන්ම, එම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීම සඳහා මෙහෙයුම්, සැපයුම් හා සේවා, ඉංජිනේරු, විදුලි හා විද්‍යුත්, නැව් බඳ කාර්මික සහ වෛද්‍ය සහායක යන අංශයන් ද නිරන්තර දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත.

මෙම කර්තව්‍ය සඳහා ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාව විසින් ක්‍රියාකරුවෙකු සමඟ දෝඹකරයක් ලබා දීමට කටයුතු කළ අතර, එසේ නොවන්නට සැළසුම ප්‍රකාරව නෞකාව ගොඩ ගැනීමට නොහැකි වීමට ඉඩ තිබූ බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top