ලෝකය

ටොන් 8 ක් බර කසල ගොඩක් පෘතුවියට කඩා වැටෙයි

චීනය අභ්‍යවකාශයේ රඳවා තිබුණු ටොන් අටක් බර, මීටර් 10 ක් දිග ‘ටියැංගොන් 1’ නමැති චීන අභ්‍යවකාශ පර්යේෂණාගාර මොඩියුලය ඉදිරි දින කිහිපයේදී පෘථිවියට කඩා වැටෙනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.

පෘථිවි කක්ෂයේ පාවෙමින් පවතින අක්‍රිය වුණු චන්ද්‍රිකා කැබැලි, රොකට් කැබැලි ආදිය විටින් විට පෘථිවියට කඩා වැටීම සිදුවන නමුත්, ටොන් අටක් බර, මීටර් 10 ක් දිග වස්තුවක් පෘථිවියට කඩා වැටෙන පළමු අවස්ථාව මෙය යැයි ද නාසා කියයි.

‘ටියැංගොන් 1’ මොඩියුලය මුහුදට පතිත වුවහොත්, එයින් සිදුවන අනතුර අවම වෙයි. කෙසේ නමුත්, එය ජනාකීර්ණ ස්ථානයකට පතිත වුවහොත් මහා විනාශයක් සිදුවීමේ අවදානමක් පවතී.

අභ්‍යවකාශයේ කසල ලෙස හැඳින්වෙන රොකට් කැබැලි, චන්ද්‍රිකා කොටස් පමණක් නොව, උල්කා සහ ග්‍රහක පවා කක්ෂය හරහා වේගයෙන් පහළට ඇදී එද්දී අධික තාපය හේතුවෙන් ගිනිගනී.

ග්‍රහක සහ උල්කා දැවී අළුවී යන අතර ඉතිරි වන කුඩා කැබැලි පමණක් පොළොවට වැටෙයි. කෙසේ නමුත් ‘ටියැංගොන් 1’ මොඩියුලය එසේ විනාශ වී නොයනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

‘ටියැංගොන් 1’ පර්යේෂණාගාරයේ ගමන් මඟ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සහතික වී ඇත්තේ, පර්යේෂණාගාරය වැටෙනු ඇත්තේ ජනශුන්‍ය ප්‍රදේශයකට කියාය.

‘ටියැංගොන් 1’ පර්යේෂණාගාරය පෘථිවි කක්ෂයට ඇතුළුවන වේලාව සහ එය නිවැරදිව පතිත වන ස්ථානය සම්බන්ධයෙන් හෙට (31) වැනිදා දැනුම් දීමට හැකිවනු ඇතැයි ද නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී.

‘ටියැංගොන්’ යන්නෙහි අර්ථය ‘දෙව්ලොව’ යන්නය. ‘ටියැංගොන්’ මොඩියුලය චීනය විසින් පෘථිවි කක්ෂයේ රැඳවූ පළමු අභ්‍යවකාශ නැවැතුම්පොළය.

‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ නවීන තාක්ෂණයෙන් පිරි පර්යේෂණාගාරයකින් සමන්විතය. ‘ටියැංගොන් 1’ අභ්‍යවකාශ පර්යේෂණාගාරය ලෙස හැඳින්වෙන්නේ ඒ නිසාය.

චීනය, ‘ටියැංගොන් 1’ මොඩියුලය උඩු ගුවනට යැවීම සිදු කළේ 2011 වසරේදී, ඔවුන්ගේ ලෝන්ග් මාච් රොකට්ටුවක ආධාරයෙනි. 2023 වෙද්දී, ‘ටියැංගොන් 1’ මොඩියුලයට, ‘ටියැංගොන් 2’ සහ ‘ටියැංගොන් 3’ යනුවෙන් මොඩියුල එකිනෙක සම්බන්ධ කිරීමට නියමිත විය. කෙසේ නමුත් ‘ටියැංගොන් 1’ අසාර්ථක වුණු හෙයින් චීනය එය අතහැර දැම්මේ අභ්‍යවකාශ ‘කසල’ අතරට එක් කරමිණි.

 

 

‘ටියැංගොන් 1’ මොඩියුලය කසල අතරට එක් කිරීමට පෙර, චීන ගගනගාමීහු ඔවුන්ගේ රොකට්ටු සහ ෂෙන්ග්සූ කැප්සියුල යොදා ගනිමින් මෙම අභ්‍යවකාශ නැවැතුම්පොළේ සංචාරය කළහ. ඒ, 2012 සහ 2013 වසරේදීය. චීනයේ පළමු කාන්තා ගගනගාමිනියන් දෙදෙනා ලියු යැංග් සහ වැංග් යැපිං ද එම අවස්ථාවට එක්වුණු බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top