ක්‍රිඩා

මාලිංගට හා මැතිව්ස්ට නිදහස් කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකෙහිම නායකත්වය හිමි ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය නිදහස් කුසලාන තරගාවලිය සඳහාත් නොලැබී යාමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. පසුගිය සෙනසුරාදා ආරම්භ වූ අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් කෝල්ට්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇතැයි තේරීම් කමිටු නිලධාරීන් බලාපොරොත්තු සහගතව සිටි නමුත් සෙනසුරාදා හෝ ඉරිදා පැවැති තරග දෙකින් එකකටවත් මැතිව්ස් ක්‍රීඩා නොකළේය.

කෙසේ වෙතත් හෙට (අඟහරුවාදා) පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකදී මැතිව්ස් සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇති බවද දැනගන්නට තිබේ. මැතිව්ස් ක්‍රීඩා නොකරන්නේ නම් නිදහස් කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ටම පැවරෙනු ඇත.

කලකට පසු දේශීය තරග බිමට පිවිසෙමින් අන්තර් සමාජ තරගාවලියට සහභාගි වූ ලසිත් මාලිංග තරග දෙකකදී කඩුලු 5 ක දවාගත් නමුත් තේරීම් කමිටු නිලධාරීන්ගේ අදහස වන්නේ නැවතත් ජාතික කණ්ඩායමට එක්වීමට තරම් තරග සංඛ්‍යාවක් ලසිත් මාලිංග ක්‍රීඩා කර නැති බවයි. එබැවින් නිදහස් කුසලාන තරගාවලියේදී ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට එක්වීමේ ඉඩකඩ අඩු බවද තේරීම් කමිටු නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් තුවාල ලබා සිටි ක්‍රීඩකයන් කිහිප දෙනකුම නැවතත් සුපුරුදු තත්ත්වයට පැමිණ සිටීම තේරීම් කමිටුවට තරමක අස්වැසිල්ලක් වී තිබේ. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පසුගිය සති අන්තයේදී ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව විස්සයි-20 තරගයට සහභාගි වෙමින් පන්දු 36 කදී ලකුණු 43 ක් ලබාගත්තේය. දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් පෙරේරාත් ආබාධ සුවවීමෙන් පසුව නැවතත් ක්‍රිකට් පිටියට අවතීර්ණ වී සිටිති.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වේ.

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top