ඔබ මංසන්ධියක් හරහා ඔබේ මෝටර් රථය ධාවනය කරන අතරතුර එක්‌වරම රතු එලිය වැටුණා යයි සිතන්න. කුමක් සිදුවනු ඇද්ද? ඔබ සිතන්නටත් පෙර ඔබේ පය තිරිංගය පාගනු ඇත. ඔබට පෙර ඔබේ ශරීරය ඉක්‌මන් වී ඔබව බේරා ගන්නවා නොවේද? ඇත්තෙන්ම එය ඔබේ ස්‌නායු පද්ධතිය විසින් ඇතිකරන රසායනික ප්‍රතික්‍රියාවන් රැසක ප්‍රථිපලයකි. අපේ ඇස් වලින් ප්‍රතිග්‍රහණය කරනු ලබන දෘශ්‍ය සංඥාවන් දෘෂ්ඨික ස්‌නායුව හරහා කෙලින්ම මොළයේ පසුපස ඇති දෘශ්‍ය සංවේදී පෙදෙසට යෑවේ.
එහිදී සැකසීමකට (process) ලක් වන මෙම සංඥාවන් මොළයේ ඇති පුර්වචාලක බාහිකය (premotor cortex) වෙත යෑවෙන අතර එහිදී අවශ්‍ය චලනය කුමක්‌දැයි තීරණය කෙරේ. මොළයේ පිහිටි මෙම පුර්වචාලක බාහිකය (Premotor cortex) වෙතට කෘතිමව සංඥා -එන්නත් (Inject) කළ හැකි උපාංගයක් (Device) මොළයේ තැන්පත් කර ඇතැයි මොහොතකට උපකල්පනය කරමු. ඒ අත්දැකීම කවරාකාර වනු ඇද්ද? ඇත්තෙන්ම මෙම ක්‍රියාවලිය ඔබට -The Matrix නම් විද්‍යා ප්‍රබන්ධ ඉංග්‍රීසි චිත්‍රපටය සිහිගන්වනවා ඇත.
එහෙත් මෑතකදී රෝචෙස්‌ට විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයින් දෙපලක් විසින් මෙවැනිම පර්යේෂණයක් වඳුරන් යොදාගෙන සිදුකර තිබේ. නියුරෝන් (Neuron) ජ’නලයේ පළ කර තිබූ ආකාරයට වඳුරන්ගේ මොළයේ පුර්වචාලක බාහිකය (premotor cortex) කෘතිමව උත්තේජනය කිරීම හා එයට තොරතුරු ලබා දීම ඔවුන් විසින් සිදුකර ඇත. මෙම පර්යේෂණය වඳුරන් දෙදෙනෙකු පමණක් යොදාගෙන සිදුකරන ලද මූලික මට්‌ටමේ එකක් වුවත් පර්යේෂකයින් අනුමාන කරන්නේ මෙමගින් ආඝාත රෝගීන් හට මස්‌තිෂ්ක උපාංග රෝපණය ගැන යහපත් බලාපොරොත්තු තැබිය හැකි බවයි.
ශරීරයේ කිසියම් ඉන්ද්‍රියයකින් ලබාගන්නා ස්‌නායු ආවේගයන් මොළය දක්‌වා ගමන් කරන්නේ ස්‌නායු පද්ධතිය හරහාය. මොළයේ කිසියම් කොටසකින් මේ ආවේගයන් ලබාගෙන ඒවා නැවත මොළයේ වෙනත් කොටස්‌වලට යවා අවශ්‍ය ප්‍රතික්‍රියාව පිළිබඳව පණිවුඩය නැවත ශරීරයේ අදාළ පේශීන් වෙත යෑවේ. මෙය සම්පූර්ණයෙන්ම ස්‌වයංක්‍රීය ක්‍රියාවලියකි. මොළය තුළ සිදුවන සමහර හානිවීම් නිසා මෙම ආවේග ගමන් කිරීම් හා උත්තේජනය වීම් නිසියාකාරව සිදු නොවී ස්‌නායු ආවේග අතරමග ඇන හිටීම සිදුවිය හැක.
මෙම පර්යේෂණයේ සාර්ථකත්වය වැදගත් වන්නේ මෙතැනදීය. විද්යුත් සංඥා නිකුත් කළ හැකි උපාංගයක් මොළයේ තැන්පත් කිරීම මගින් එම හානිවූ කොටස් මගහැර ආවේගයන් මොළයේ පූර්වචාලක බාහිකය (premotor cortex) වෙතට යෑවීම සිදුකළ හැකිය. පූර්වචාලක බාහිකය අධ්‍යයනය කිරීම සඳහා ආචාර්ය මශුරෙක් (Dr.Mazurek) හා ඔහුගේ සහායක ආචාර්ය මාක් එච් ශීබර් (Dr. Marc H. Schieber) විසින් රෙසස් නම් කුඩා වඳුරන් දෙදෙනෙක් ක්‍රීඩාවක් කිරීමට පුහුණු කරන ලදී.
පළමුව වඳුරන් දෙදෙනා බොත්තමක් (Button), ගෝලාකාර අගුලක් (Knob), සිලින්ඩරාකාර අගුලක්, සහ ඔ – හැඩැති හැඬලයක් සහිත පැනලයක් ඉදිරිපිට වාඩි කරවන ලද අතර ඒ සෑම එකක් වටාම රවුමට LED බල්බ සවිකර තිබුණි. යම් හෙයකින් බොත්තම වටා ඇති ආලෝකය දැල්වුණහොත් වඳුරන් විසින් බොත්තම එබිය යුතු විය. ගෝලාකාර අගුල වටා ඇති ආලෝකය දැල්වුනහොත් අගුල කරකැවිය යුතු වූ අතර T – හැඩැති හැඬලය හෝ සිලින්ඩරාකාර අගුල වටා ආලෝකය දැල්වුනහොත් අතින් ඇදිය යුතු විය.
මෙලෙස කරන සෑම වාරයක් පාසාම වඳුරන්ට නැවුම් ජල ධාරාවක පහස ත්‍යාගයක් ලෙස ලැබුණි. ක්‍රීඩාව කිරීමට වඳුරන් දෙදෙනා හොඳින් පුහුණු වූ පසු පර්යේෂකයින් විසින් වඳුරන්ගේ මොළයේ පූර්වචාලක බාහිකය (Premotor cortex) ප්‍රදේශයේ ඉලෙක්‌ට්‍රොaඩ 16 බැගින් තැන්පත් කරන ලද අතර එක් එක් අගුල හෝ බොත්තම වටා ආලෝකය දැල්වෙන වාරයක් පාසාම එම ඉලොක්‌ට්‍රොaඩ වලින් එක් එක් ආලෝක වළල්ලට වෙන වෙනම ඉතා කුඩා විද්යුත් ස්‌පන්දනයන් යවන ලදී.
වඳුරන් විසින් මෙලෙස වට ගණනාවක් ක්‍රීඩාව කළ පසු එක්‌වරම දැල්වෙන ආලෝකය අඩු කරන ලද අතර එයින් වඳුරන් අපහසුතාවයට පත්වූ බව පෙනී ගියේය. පසුව වඳුරන් එයට හුරු වූ බව පෙනුන අතර ආලෝකය නොදැල්වී තිබියදී පවා මොළයට ලැබෙන විද්යුත් සංඥාවෙන් පමණක් අවශ්‍ය ප්‍රතිචාරය දැක්‌වීමට වඳුරන් සමත් වූහ. මේ අනුව පැහැදිලි වූයේ මොළයට අවශ්‍ය ස්‌නායු ආවේග කෘතිමව ලබාදෙන විටදී පවා මොළය නිවැරදිව ප්‍රතිචාර දක්‌වන බවයි.
කෙසේ වෙතත් මෙලෙස විද්යුත් ආවේගයක් මගින් මිනිස් සිරුරේ යම් යම් චලනයන් සිදුකළ හැකි බව ස්‌නායු විශේෂඥයින් විසින් බොහෝ කලක සිට දැන සිටි කරුණක් වන අතර මෙම පරීක්‌ෂණය ඊට වඩා වෙනස් එකක් විය. කෙසේ වෙතත් මෙලෙස විද්යුත් ස්‌පන්දනයන් ලබාදීමේදී වඳුරන් ට එය දැනුනේ කෙසේදැයි සෙවීමට පර්යේෂකයින් උත්සුක වූහ.
මෙම උත්තේජනයන් විසින් සමහරවිට සවිඥානික සංජානනයක් ඇති කරනවා වෙන්න පුළුවන් යයි මෙම පර්යේෂණයට සහභාගී නොවූ කැන්සාස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්‌ථානයේ ස්‌නායු භෞතවේදියෙක් (Neurophysiologist) වන පෝල් චෙනි (Paul Cheney) මහතා පවසයි. -නමුත් ඒ දැනුන සංජානනය දන්නේ එයට සහභාගී වූ වඳුරන් ම පමණයි. උන්ගෙන් ඒ අත්දැකීම අසා දැන ගැනීම නම් කළ හැකි එකක් වන්නේ නෑ යයි ආචාර්ය පෝල් වැඩිදුරටත් පවසයි. ආචාර්ය ශීබර් අනුමානය කරන්නේ සමහරවිට උන්ට යමක් දැනෙන්න ඇති, නැත්නම් පේන්නත් ඇති. කවුද ඒක හරියටම කියන්නේ යනුවෙනි.
මෙම චමත්කාරජනක පරීක්‌ෂණය නැවතත් වෙනස් ආකාරයේ පරීක්‌ෂණ උපකරණ හා වෙනස් ඉලෙක්‌ට්‍රොaඩ යොදාගෙන සිදු කළද ලැබුණ ප්‍රතිඵලය පෙර සේම සාර්ථක එකක් විය. ප්‍රින්ස්‌ටන් සරසවියේ ස්‌නායු විද්‍යාඥයෙක් (neuroscientist) වන මයිකල් ඒ ග්‍රසියානෝ (Michael A’ Graziano) මෙම පරීක්‌ෂණය ගැන මෙසේ පවසයි. මෙම පරීක්‌ෂණය මොළය හා සම්බන්ධ උපාංගයක් පමණක් නොවේ.
මෙය ඉගෙනගන්නා උපාංගයකි.Dr’ MazureK සහ Dr. Schieber විසින් යොදාගනු ලැබුවේ ඉලෙක්‌ට්‍රොaඩ දහසයක් වුවත් මෙවැනි ඉලෙක්‌ට්‍රොaඩ දහස් ගණනකින් සමන්විත වඩාත් දියුණු උපාංග අනාගතයේ දිනක මොළයට හානි වූ රෝගීන්ට බද්ධ වනු ඇති. එලෙස බද්ධ කරන ලද උපාංග මගින් මොළයට අවශ්‍ය ස්‌නායු ආවේගයන් එන්නත් කර අකර්මණ්‍ය වූ ශරීරාංග නැවත පණ ගන්වනු ඇති.