ලෝකය

මීලග පරම්පරාවට චොකලට් පෙත්තක රසය බැලීමට නොහැකි වේවිද ?

තවත් වසර 30කට පමණ පසුව මෙහි පහළ වන පරම්පරාවන්ට චොකලට් පෙත්තක රසය විඳින්නට අවස්ථාවක් නොලැබී යනු ඇතැයි කියා කෘෂි විශේෂඥයෝ සැක මතු කරති. ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ කොකෝවා වගාව මේ වන විට විනාශ වී යෑමේ අවදාමකට ලක්වෙමින් පවතින බැවිනි. කොකෝවා ශාක විනාශ වී යෑම ආරම්භ වී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් හැටියට බව අනාවරණය වී තිබේ.

චොකලට් නිෂ්පාදනය කිරීමට කොකෝවා බීජ අවශ්‍යම වේ. එම බීජ ලබා ගැනෙන කොකෝවා ශාක වර්ධනය වන්නේ ඉහළ අර්ද්‍රතාවක් සහ ඉහළ වර්ෂාපතනයක් සහිත ප්‍රදේශවලය. ඒ අනුව සමකයෙන් අංශක 20ක් උතුරට සහ දකුණට විහිදී ඇති ප්‍රදේශවල කොකෝවා වඩාත් හොඳින් වර්ධනය වනු දක්නට පුළුවන. ඉදිරි වසර තිහක පමණ කාලය තුළදී ගෝලීය උෂ්ණවත්ය ඉතා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. ඔවුන්ගේ පැහැදිලි කිරීම් අනුව නිගමනය කළ හැකි වන්නේ ඉදිරි වසර තිහ තුළදී සෙන්ටිග්‍රේඩ් අංශක 2.1කින් පමණ ගෝලීය උෂ්ණත්වය ඉහළ යා හැකි බවකි.

එම උෂ්ණත්ව වැඩි වීමත් සමඟ ඇති වන උණුසුම් කාලගුණ තත්ත්වය කොකෝවා වගාවට නොගැලපෙනවාට කිසිදු සැකයක් නැත. එමෙන්ම කොකෝවා වගා කළ හැකි ඉඩම් කඳුකර ප්‍රදේශවලට පමණක් සීමා වීමේ අවදානමකුත් මතුව තිබේ. කෘෂි විද්‍යාඥයන් පවසන අන්දමට 2050 පමණ වන විට කොකෝවා වගාව අඩි දහස් ගණනක් ඉහළින් පිහිටි කඳුකර ප්‍රදේශවලට සීමා වනු ඇත.

මේ ප්‍රදේශ ඒ කාලය වන විට වන ජිවීන් සඳහාම වෙන් කරන ලද ප්‍රදේශ වනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. එකී තත්ත්ව යටතේ කොකෝවා අස්වැන්න අනුක්‍රමයෙන් අඩු වී යෑම වැළැක් විය නොහැකිය. එසේ වුවත් චොකලට් සඳහා ඇති ඉල්ලුම අඩු වන බවක් කොහෙත්ම දක්නට නොලැබෙනු ඇත.

පසුගිය වසරේදී චොකලට් හිඟයක් වෙළෙඳ පොළ තුළ ඇති වනු ඇතැයි කියා විශේෂඥයෝ සැක මතු කළහ. ඊට හේතු වූයේ චොකලට්වලට ඇති ඉල්ලුම ඉතා ශීඝ්‍රයෙන් වැඩි වීමය. දැනට තහවුරු වී තිබෙන අන්දමට බටහිර රටක ජීවත්වන අයකු වසරකට සාමාන්‍යයෙන් චොකලට් බාර් 286ක් වත් අනුභව කරයි. බෙල්ජියම වැනි රටක ජීවත් වන පුද්ගලයකු වසරකට අනුභව කරන චොකලට් ප්‍රමාණය එයට වඩා බෙහෙවින් වැඩි බව සනාථ වී ඇත.

චොකලට් බාර් 286ක් සකසා ගන්නට අවශ්‍ය කොකෝවා ලබා ගන්නට හැකි වන්නේ කොකෝවා ශාක 10කින් පමණ බැව් සඳහන් වේ. චොකලට් සඳහා ඇති ඉල්ලුම වැඩි වන විට කොකෝවා නිෂ්පාදනයත් වැඩි කරන්නට සිදුව ඇත. එසේ වුවත් පවත්නා තත්ත්ව තුළ කොකෝවා අස්වැන්න එක දිගටම වැඩි කළ නොහැකිය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඉදිර්යේදී එය කෙසේවත් සිදු කිරීමට නොහැකි වනු ඇත.

මේ වන විට කොකෝවා නිෂ්පාදනය කරන රටවල් අතර මුලින්ම සිටින්නේ අයිවරි කෝස්ට් රාජ්‍යයයි. ඒ හැරුණු විට ඝානා, ඉන්දුනීසියාව, බ්‍රසීලය, කැමරොන්, නයිජීරියාව වැනි රටවල් ද කොකෝවා නිෂ්පාදනයෙහි නියැලී සිටී. 2015 වසරේදී නිෂ්පාදනය කෙරුණු කොකෝවා ප්‍රමාණය ටොන් මිලියන 4.4ක් පමණ විණ. එම අස්වැන්න ලබා දෙන්නට වැඩිපුර දායක වූයේ කුඩා පරිමාණයෙන් කොකෝවා වගා කරන ගොවීන්ය. එයට හේතුව මහා පරිමාණ කොකෝවා වගාවන් පවත්වාගෙන යන පිරිස අල්ප වීමයි.

කොකෝවා නිෂ්පාදනයෙහි නියැලී සිටින 90%කට ආසන්න පිරිසක් සුළු පරිමාණයෙන් කොකෝවා වගාව පවත්වාගෙන යන අය බව අනාවරණය වී තිබේ. කොකෝවා නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය තරම් කෘෂි තාක්ෂණය නිෂ්පාදකයන් වෙත ළඟා නොවීම නිෂ්පාදනය අවම මට්ටමක පවතින්නට තවත් හේතුවක් බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. මේ නිසා සාම්ප්‍රදායික සහ යල් පැන ගිය ක්‍රම හරහා කොකෝවා නිෂ්පාදනය වීම අදටත් බහුල වශයෙන් දකින්නට පුළුවන.

ඉල්ලුමට සරිලන ලෙස චොකලට් සකසන්නට යෑමේදී කොකෝවා හිඟකම එනිසා බරපතල ගැටලුවක් බවට පත්වන දවස වැඩි ඈතක නොවේ. වසරකට සාම­ාන්‍යයෙන් චොකලට් ටොන් 100,000ක පමණ අඩුවක් ඇති කරන්නට මේ තත්ත්වය ඍජුවම බලපාන බව කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති. තවත් වසර තිහක් පමණ ගත වන විට චොකලට් පෙත්තක රස බැලීම බෙහෙවින්ම අසීරු කාරණයක් වනු ඇති බව ඔවුන් පවසන්නේ එකී පදනමේ සිටය.

 

mail online ඇසුරෙනි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top