දැනුම

නින්ද ගැන ඔබ නොදන්නා තතු

නිදාගත්තත් සමහරුන්ට නින්ද යන්නෙ නෑ.ඒ ගැන තමයි මේ ලිපිය.

අඩු නින්ද නිසා ධාරණ ශක්තිය මෙන්ම මතක ශක්තියද හීන වන අතර මෙම අවදානමට වැඩියෙන්ම ලක් වන්නේ තරුණ ශිෂ්‍යයන්යයි කැනඩාවේ ද ග්ලෝබ් ඇන්ඩ් මේල් පුවත්පත පවසයි. “බාලයන්ගේ හා තරුණයන්ගේ අඩු නින්ද, අන් අය සමඟ කටයුතු කරද්දී හැසිරිය යුතු ආකාරය පිළිබඳ ගැටලුවලට, කෝපයට හා අධික්‍රියාශීලීත්වයට සම්බන්ධය.” උසස් අධ්‍යාපනය ලබන පාසැල් ශිෂ්‍යයන් 2,200දෙනෙකු වැනි සංඛ්‍යාවකගේ නිදන පුරුදු පිළිබඳව අධ්‍යයනයක් කළ විද්‍යාඥයන් සොයාගත්තේ සියයට 47ක් සෑම රාත්‍රියකම නිර්දේශිත පැය අටට වඩා අඩු නින්දක් ලබන බවය.

යෞවනයන්ගේ ජීවන රටාව මගින් ඔවුන්ට අවශ්‍ය නින්ද සොරාගන්නා නමුත් “ඔවුන්ගෙන් සමහරෙකු නිර්ණය නොකළ වෛද්‍ය ගැටලුවලින් පෙළෙනවාද විය හැකියි” කියා ග්ලෝබ් පුවත්පත පවසයි. “වයස අවුරුදු 4ත් 18ත් අතර දරුවන්ගෙන් සියයට 4ක් පමණ නින්දේදී ශ්වසන අවහිරතාවට [sleep apnea] ලක් වේ.” නිදන විට උගුරේ පිටුපස පිහිටි ස්වාස නාලය අර්ධ හෝ පූර්ණ ලෙසින් වැසී ඔක්සිජන් ගලා ඒම අඩාළ වේ. මේ හේතුවෙන්, මොළයට සම්පූර්ණ විවේකයක් නොලැබෙන නිසා විඩාබර හා කේන්ති ගතියකින් දරුවෝ අවදි වෙත්.

එවැනි අක්‍රමිකතාවක් තිබිය හැකි බව අඟවන වෙනත් ලක්ෂණද ඇත. එනම් නින්දේදී ගෙරවීම හෝ හතිය ඇතිවීම, උදේ වරුවේ නිතර නිතර හිසේ කැක්කුම හටගැනීම, මතක තබාගැනීමේ හා අවධානය යොමු කිරීමේ ගැටලු ඇතිවීම මෙන්ම දිවා භාගයේදී නොනැවතී අධික නිදිබර ගතියක් පැවතීම එවැනි ලක්ෂණයි. දරුවන් තද නින්දක පසු වන විට ඉඳ හිට සවන් යොමු කර බැලීමට දෙමාපියන්ට දිරිගන්වා ඇත.

නින්ද පිළිබඳ ප්‍රවීණයෙකු වූ ළමා රෝග විශේෂඥ දොස්තර රොබට් බෲඉයෙට් පවසන්නේ එවැනි අක්‍රමිකතාවක් ඇති දරුවෙකු නිදන විට පපුව උස් පහත් වෙමින් තිබුණත් හුස්මගැනීම නතර විය හැකි බවය. “මද විරාමයකට පසු දරුවා තිගැස්සී ඇහැරී හෝ යන්තමින් ඇහැරී කීපවිටක් හුස්මගෙන යළිත් නින්දට වැටෙයි.” සෑම රාත්‍රියකම දරුවෙකු එවැනි අවස්ථාවන් සියගණනක් අද්දැකිය හැකි අතර අවදි වන විට හොඳටම හෙම්බත් වූ ගතියක් දැනිය හැක.

නිදාගැනීමේ අක්‍රමිකතා පිළිබඳ අමෙරිකානු සමාගමක් නිර්දේශ කරන්නේ රූපවාහිනිය හෝ පරිගණකය වැනි බාධා ඇති කරන ඕනෑම දෙයකින් තොර සිසිල් අඳුරු නිදන කාමරයක් සුදුසු බවය. නිතිපතා කාලසටහනකට අනුව නිදාගැනීම හා අවදි වීම දරුවන්ට මෙන්ම නහඹරයන්ටද රාත්‍රියේ හොඳ නින්දක් ලැබීමට උපකාරයක් වනු ඇත.

නිදාගැනීමේදී ශ්වසන අක්‍රමිකතාව අද්දකින සමහරුන් නාස්පුඩු හා මුඛය තුළින් නොකඩවාම සෙමින් සෙමින් වාතය ඇතුල් කරන වායු පීඩක යන්ත්‍රයක් භාවිත කර ඇත. එමගින් නින්දේදී උගුරේ පිටුපස කෙළවර විවෘතව තැබේ. ළමා රෝග විශේෂඥයෙක් මෙසේ පැවසීය. “අප ගන්නා ආහාර ගැන සැලකිලිමත් වනවාට වඩා නින්ද ගැන සැලකිලිමත් වීම වැදගත්. එය ව්‍යායාමයට වඩා වැදගත්. නින්ද අපේ හෝමෝන, අපේ චිත්තවේගයන් හා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පාලනය කරනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top