දැනුම

කිරිපිටිවල සැගවූ තිත්තම පැත්ත

කිරිපිටිවල සැගවූ තිත්තම පැත්ත

කිරෙන් වැරුණු පසුවත් ආයු කාලය පුරා කිරි පානය කරන එකම සත්වයා මිනිසා ය. එම කිරි ද තමන් ගේ නොව වෙනත් ක්ෂීරපායින් ගෙන් දොවා පානයට හෝ ආහාරයට ගනී. මානව ශිෂ්ටාචාරයේ ක‍්‍රි.පූ. 9000 – 8000 අතර කාලයේ දී බටහිර හා මධ්‍යම ආසියාවෙන් ඇරඹි කිරි ආහාරයට ගැනීමේ පුරුද්ද අද ද නොනැසී පවතී. නමුත් වර්තමානය වන විට කිරි ආහාරයට ගැනීමේ රටාව හා ස්වභාවය වෙනස් වී ඇත.

මුල් යුගයේ දී අමු කිරි (Raw Milk) ලෙස රත් කර පානය කිරීම හෝ මුදවා ආහාරයට ගැනීමත් ශේෂ වන කිරි පස්ගෝ රස වැනි අතුරු නිෂ්පාදන ලෙස ප‍්‍රයෝජනයට ගැනීමත් සිදු කෙරින. අද තත්ත්වය ඊට සපුරා ම වෙනස් ස්වභාවයක් ගනී. රසායනික හා යාන්ත‍්‍රික තාක්ෂණයේ අනුහස් කිරි ආහාර නිපදවීමේ දී යොදා ගැනීමට අද පෙළඹී සිටී.

බහු ජාතික සමාගම් ගෘහ කර්මාන්ත මට්ටමින් ඔබ්බට කිරි නිෂ්පාදන කර්මාන්තය දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය කර ඇත. මෙසේ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළ සමාගම් විසින් සියතට ගැනීම යම් තරමක පෝෂණීය ගුණයක් ගෙනදුන් කිරි වසක් විසක් බවට පත් කිරීමට මුල් වූ හේතුවයි.

කිරි ළඳරු ආහාරයක් ද?

වෙනත් ක්ෂීරපායී සතුන් ගේ කිරි මත යැපෙන මෙලොව වසන එකට ක්ෂීරපායීයා වන මානවයා තම වර්ගයා ගේ ළඳරුවන්ට ද වෙනත් ක්ෂීරපායින් ගේ කිරි ළඳරු ආහාරයක් ලෙස ලබා දීම විස්මය දනවන කරුණක් බවට පත් ව ඇත්තේ මිනිස් සතා ගේ කාන්තාව සතුව ලොව අමිල වූ ගුණ ඇති කිරි තම ළඳරුවා වෙනුවෙන් ස්වාභාවිකව නිපද වෙද්දී ය.

එනම් තම දරුවා වෙනුවෙන් දාරක ස්නේහය ද මුසුව මවු කිරි උනද්දීය.

ළඳරුවකු ගේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන සංඝටකයන් වන DHA සහ ARA යන අසංතෘප්ත මේද අම්ල නියමිත අනුපාතයන් ගෙන් පවතින්නේ මව් කිරිවල පමණි. ඒ වෙනුවට එළකිරිවල පවතින්නේ වසු පැටවා ගේ ශරීර වර්ධනයට අවශ්‍ය වන්නා වූ සංතෘප්ත මේද අම්ල පමණකි.

එමඟින් ලැබෙන්නා වූ පෝෂණයෙන් වසු පැටවා ගේ බර මිනිස් දරුවා ගේ බර මෙන් සත් ගුණයකින් පමණ ඉහළ ගිය ද වසු පැටවා ගේ මොළය වර්ධනය වන්නේ මිනිස් දරුවා ගේ මෙන් සිව් ගුණයකටත් වඩා අඩුවෙන් බව සොයා ගෙන ඇති සත්‍යයකි.

මේ ආකාරයෙන් සරලව සලකා බැලීමේ දී පවා තහවුරු වන්නේ ළඳරු ආහාරයක් ලෙස ගව කිරි හෝ වෙනත් සත්ත්ව කිරක් කොහෙත්ම මානව ළඳරුවාට නොගැලපෙන බව යි.

කිරි ආහාර නිෂ්පාදන මාෆියාව

කිරි ආශ‍්‍රිත නිෂ්පාදන මිනිසා ගේ පෝෂණ ගුණය වර්ධනය කරන අත්‍යවශ්‍ය ආහාර අංගයක් බවට පත් කරමින් සිදු කළ දැවැන්ත මොළ සේදීමේ ව්‍යාපෘතිය නොහොත් ප‍්‍රචාරණ යුද්ධය මඟින් වෙළෙඳපොළ නිර්මාණය කර ගැනීමෙන් අනතුරුව ඉල්ලූමට සරිලන නිපැයුම තහවුරු කර ගැනීමේ දී සිදු කළ මහා පාපකාරී ව්‍යසනයේ සුල මුල දැන් හෙළිවෙමින් පවතී.

ඉන්දියාව ලොව විශාලතම කිරි නිෂ්පාදකයා වුවත් ලෝක කිරි ආශ‍්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළ තුළ ඔවුන් ගේ භූමිකාව කුඩා එකකි. නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව හා යුරෝපා සංගමය ලොව විශාලතම කිරි නිෂ්පාදන අපනයනකරුවන් වන අතර චීනය හා රුසියාව විශාලතම ආනයනකරුවන් වෙයි. ඒ සවියෙන් චීනය හා රුසියාව කිරි පිටි නිෂ්පාදන ප‍්‍රමිතිය ප‍්‍රශ්නකරන තෙක් කිරි පිටි වෙළෙඳපොළ මෙහෙයවන බහුජාතික සමාගම්වලින් ඔවුන් ගේ නිෂ්පාදන ප‍්‍රමිතිය ප‍්‍රශ්න කිරීමට ලොව වෙනත් කිරි ආහාර ආනයනික රටවලට නොහැකි වූයේ එම රටවල නායකයින් බෙලහීනයන් වූ හෙයිනි.

ෆොන්ටෙරා සමාගම ලෝක කිරි ආහාර වෙළෙඳපොළින් 1/3 ක හිමිකරුවා වෙයි. නෙස්ලේ සමාගමේ වාර්ෂික ප‍්‍රචාරණ වියදම අප‍්‍රිකානු රටවල් 25 ක ජාතික ආදායමට සමාන වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් ගේ ලාභයේ ප‍්‍රමාණය යි. ලාභයේ පරිමාවට සාපේක්ෂව ඔවුන් සමඟ ඔට්ටු වෙන්නට ලොව සංවර්ධනය වෙමින් පවතින රටවලට නොහැකි ය. ඔවුන්ව ප‍්‍රශ්න කිරීමට ද නොහැකි ය.

මූල්‍ය සවිය මත සියලූ රටවල ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා ජනමාධ්‍ය මෙම බහුජාතික සමාගම්වල යටත් වැසියන් පමණි. ලංකාවේ තත්ත්වය ද මෙයින් වෙනස් නොවෙයි. මෙම සමාගම්වල අපේක්ෂා පරිදි නැති ගුණ මවන බටහිර ගැති දොස්තරවරුන්, නළුවන් සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හෝ රඟන ප‍්‍රචාරණ දැන්වීම්, ඇතුළු මොළ සේදීමේ ව්‍යාපෘති හා අධික මිල ඉහළ දැමීම ලංකාව තුළ දීර්ඝ කාලයක සිට පවත්වා ගෙන එයි.

ඒ සඳහා පාර කපා ඇත්තේ අපේ නැණවත් ගෘහණියන් ලෙස මෙම කිරි පිටි සමාගම් විසින්ම හාස්‍යයට ලක්කරන පාරිභෝගික ප‍්‍රජාව ගේ බුද්ධි මට්ටමේ ප‍්‍රමාණය යි.

අපේ පාරිභෝගිකයෝ තවමත් තමන් ගේ දෛනික ආහාර වේලට වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීම් එකතු කර ගනිති. ප‍්‍රචාරණ දැන්වීම්වල ඇති දෑ පරම සත්‍ය යැයි ඔවුන් සිතති. මේ ප‍්‍රචාරණ දැන්වීම්වල උත්සාහය මෙම භාණ්ඩ මිල දී ගැනීමට අපව පොළඹවීම බව අවම වශයෙන් වත් ඔවුන් නොසිතති. එසේනම් මෙම වෙළෙඳ දැන්වීම් යනු මාෆියා වෙළෙඳ ක‍්‍රමයක් යයි ඔවුන් කවරදාකවත් සිතනු ඇත් ද?

නැති ගුණ මැවීමට අමතරව පාරිභෝගිකයා බිය වැද්දීම මඟින් තම නිෂ්පාදන විකුණා ගැනීමට තරම් කූට වෙළෙඳ සමාගම් තුච්ඡු තත්ත්වයට වැටී ඇත. අධි කැල්සියම් කිරි පිටි මිත්‍යාව මේ සඳහා හොඳම උදාහරණය යි.

ඔස්ටි ඕපොරෝසිස් යනුවෙන් රෝග තත්ත්වයකට කාන්තාවන් ඉලක්ක කර ඔවුන් ගේ අස්ථි අස්ථාවර වනවා යනුවෙන් බිය ගෙන දෙන ප‍්‍රචාරණ දැන්වීම් පෙන්වමින් පිළිගත් ක‍්‍රීඩකයන් ගේ කීර්ති නාමය මුදලට ගෙන ඔවුන් හරහා ද අධි කැල්සියම් කිරි පිටි තොග පිටින් පානය කිරීමට අපේ කාන්තාවන්ට මෙම සමාගම් බල කර සිටී. පැහැදිලිවම මෙය බිය ගන්වා කරනු ලබන බල කිරීමකි. සාපරාධී ත‍්‍රස්තවාදයකි.

ඔස්ටි ඕපොරෝසිස් සඳහා එකම හේතුව ශරීරයේ කැල්සියම් මදකම බව පවසන කිරි පිටි නිෂ්පාදකයින් ඒ සඳහා පිළියම කැල්සියම් අධික කිරි පිටි පානය බව පවසා සිටී. නමුත් ඇත්ත වශයෙන්ම මෙම කිරි පිටිවලට කැල්සියම් එක් කරන්නේ කෙසේද යන්න මුග්ධ පාරිභෝගිකයින්ට ප‍්‍රශ්නයක් නොවෙයි. එය පිටි කිරිවලට කැල්සියම් එකතු කළ හැකි වන්නේ අකාබනික කැල්සියම් ලෙස කිරි පිටිවලට මිශ‍්‍ර කිරීම මගින් පමණි.

නමුත් සත්‍ය අකාබනික කැල්සියම් අප ගේ සිරුරට අවශෝෂණය නොවන තරම් ය. කෘත‍්‍රිම කැල්සියම් එන්නත් කිරීමට දරන උත්සාහයක් වැනි මෙම ක‍්‍රියාවන්ට වඩා කැල්සියම් අධික ආහාර වෛද්‍ය නිර්දේශ මත රෝග තත්ත්වයක් ඇත්නම් පමණක් අවශ්‍ය පමණට ගැනීමට තරම් අපේ සමාජය දියුණු නැත්තේ මෙරට සාක්ෂරතාව තරමට බුද්ධි මුහුකුරා ගොස් නැති බැවිනි.

ඩයිසයිනමයිඞ්, මෙලමයින් හා බොටියුලියම්

අප රට තුළත් දිගු කලක සිට විද්වතුන් හා සමාජ ක‍්‍රියාකාරීන් කිරි පිටිවල හානිකර ආදීනව කොතෙක් පෙන්නුම් කළ ද චීනය හා රුසියාව විසින් නවසීලන්ත කිරි ආශ‍්‍රිත ආහාර නිෂ්පාදනවල ප‍්‍රමිතිය ප‍්‍රශ්න කරන තෙක්ම කිරි පිටි සමාගම්වල සත්තමට බියෙන් හෝ රහසිගත සහයෝගිතාවයට අනුව අපේ ආණ්ඩුව හා දේශපාලඥයන් නෑසු කන්ව ගෙන ගිය හොරා පොලිස් සෙල්ලම අනාවරණය කරන තැනට දැන් පැමිණ ඇත.

ආණ්ඩුව එකවරම සටනට බැසීම කුමන ආකාරයක දේශපාලන න්‍යාය පත‍්‍රයක කොටසක් දැයි දැනට නොතේරෙන නමුත් ජනතාව ගේ ඇස් ඇරවීමට ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග සමත්ව තිබේ. ආණ්ඩුව මෙම සටන කොතනින් අවසන් කරයි ද යන්න පිළිබඳ ව ඇත්තේ ද දෙගිඩියාවකි. මන්ද ආසනික් ගැටළුවේ දී හා රතුපස්වල ජල ගැටළුවේ දී ආණ්ඩුව සිට ගත්තේ සමාගම් සමඟ බැවිනි.

ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග කුමක් වුවත් ආනයනික කිරි නිෂ්පාදන ආශ‍්‍රිත ව පවතින සත්‍ය යථාර්ථයක් තිබේ. ලෝකයේ ප‍්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගම් කිසිවක් දියර කිරි හෝ කිරි පිටි පමණක් නිපදවන්නේ නැත. ඔවුන් ගේ නිෂ්පාදන ගොන්නට වේ ප්‍රෝටීන් සහිත නිෂ්පාදන, චීස්, බටර්, දියර කිරි, පිටි කිරි ඇතුළත් ය.

වේ ප්‍රෝටීන් යනු අමු කිරිවල අඩංගුව පැවත ඉවත් කර ගනු ලබන ප්‍රෝටීන කොටස යි. එය අධික මිලක් යටතේ වෙළෙඳපොළට වෙනම එවනු ලබයි. චීස්, බටර් යනු අමු කිරිවල අඩංගුව පැවති මේද කොටසින් නිපදවන ලද අතුරු නිෂ්පාදන යි. ඒවා සඳහා ද වෙළෙඳපොළේ ඉහළ ඉල්ලූමක් පවතී.

දැන් ප්‍රෝටීන් සහ මේද කොටස ඉවත් කළ කිරි සඳහා කුමක් කරමු ද? සමාගමට ඒ සඳහා පිළිතුරක් තිබේ. ඉවත් කළ ප්‍රෝටීන් සඳහා ප්‍රෝටීන් අණුකතාවය පෙන්වන Xn හානිකර කාණ්ඩයේ ඇති භෞතික ස්වභාවයේ දී සුදු කුඩක් ලෙස පවතින ඩයිසයිනමයිඞ් හෝ මෙලමයින් වැනි අමුද්‍රව්‍ය විසිරි වියලනය කළ පිටි කළ කිරිවලට එක් කිරීමත් ඉවත් කළ මේදය වෙනුවට සත්ව තෙල් හෝ ඔයිල් ෆාම් අවශ්‍ය පදමට එකතු කිරීමත් ය.

මෙය පැහැදිලි සත්‍යයකි. බොටියුලිනම් රෝගකාරක බැක්ටීරියාව කිරිවලට මිශ‍්‍ර වීම යනු නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී මෙම සමාගම් දැක්වන නොසැලකිල්ල එලිදරව් වූ එක් අවස්ථාවක් පමණි. නමුත් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් කියන්නේ සෑම කිරි බින්දුවක්ම ඉහළම සුපරීක්ෂණයක් හා ආරක්ෂාවක් යටතේ නිපදවන බව යි, ඉතින් අප මේ සමාගම් විශ්වාස කළ යුතු ද? මින් එහා ගිය සත්‍යයක් ද කිරි පිටි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන තුළ අඩංගු ව පවතී.

කිරි යනු ලොව වේගයෙන්ම නරක් වන ආහාරය යි. එහි රසායනික ක‍්‍රියාකාරිත්වය වේගවත්ය, සංවේදීය. එසේනම් පිටි කළ හෝ වෙනත් අයුරකින් එන කිරි ආශ‍්‍රිත නිෂ්පාදනයක් දීර්ඝ කාලයක් තබා ගන්නේ අධික රසායනික වස විස ගොන්නක් යෙදීමෙනි.

කිරි බවුසරය එනතුරු නරක් නොවී තබා ගැනීමට යොදන හයිඩ‍්‍රජන් පෙරොක්සයිඞ්වල (තුවාල සේදීමට ගන්නා දියරය) සිට ඩයිසයිනමයිඞ්, මෙලමයින් හා කිරි ගවයන්ට ආහාරය සඳහා දෙන තණ කොළවලට යොදන කෘෂිරසායන වස විස ද, කිරි දෙනුන් ගේ කිරි බුරුලේ පවතින තුවාලවල සැරව ෙසෙලවලින් (Pus Cell) ද, කල්තබා ගැනීමට යොදන වස විසෙන් ද පරිපූර්ණව, සමාගම් පාරිභෝගික වන ඔබ අතට මෙම කිරි පිටි හෝ කිරි නිෂ්පාදන එක්කරන්නේ ඔබ ගේ සහ දරුවන් ගේ නැණවත් පෝෂණය සඳහා ද?

වෙන මගක් නැති ද?

මා වසර 09 කට පෙර සිට කිරි පිටි පානය අත් හළ අයෙක් වන අතර ඉහත සඳහන් සත්‍ය අවබෝධ කර ගැනීම එහි පදනම විය. මෙම වසර 9 මුළුල්ලේ බොහෝ තැන්වල දී මා විසින් කිරි පිටි ප‍්‍රතික්ෂේප කරන විට මෙම සත්‍ය අඩංගු සංවාදය මා විසින් නිරතුරුව සිදු කළ අතර එමඟින් සත්‍ය අවබෝධ කර ගත්තෝ ද, මා කිරි පිටි ඇලජික්කාරයෙක් ලෙස සිතා මා වෙත අනුකම්පාව දැක් වූවෝ ද, ඍජුවම සමාගම් විසින් මවන මිත්‍යා පුනරුච්චාරණ කරමින් මා පවසන සත්‍ය තොරතුරු අභියෝගයට ලක් කළ පිරිස් ද වූහ.

වර්තමානයේ දී ඇමරිකා එක්සත් ජනපදය තුළ ඇති කිසිදු වෙළෙඳ සැලක් තුළ කිරි පිටි කියා දෙයක් දැක ගැනීමට නැති අතර පිටි කළ වස විස සමඟ එන කිරි පිටි ඇමරිකා පාරිභෝගිකයින්ට ආගන්තුකය. නමුත් කිරි ආශ‍්‍රිත නිෂ්පාදන පරිභෝජනයේ දී ඔවුන් අපට වඩා ඉදිරියෙන් සිටිති.

වෙනස් නොකළ අමු කිරි (Raw milk) ඔවුන් ගේ ප‍්‍රධාන පානය යි. විවිධ ලෙස රස ගැන්වීම පමණක් කළ ශීත කළ කිරි ද පාස්වාරිත කළ කිරි (Pasteurized milk), අමු කිරෙන් තැනූ යෝගට් හා වේ ප්‍රෝටීන් (අධි ප්‍රෝටීන) ආහාර ද ඔවුන් ගේ කිරි ආහාර වෙයි. සියලූ ගුණ ඉවත් කර රොඞ්ඩෙන් හදන කිරි පිටි ඔවුන් ගේ වෙළෙඳපොළට නො එයි. ඒ ඇමරිකානු පාරිභෝගික සමාජයේ පවතින දැනුම්වත්භාවය නිසා ය.

ඔවුන් ගේ දැනුම්වත්භාවය ඉහළ ගියේ සමාජ සංවිධාන හා රොන් ෆෝල් (Ron Paul) වැනි දේශපාලකයින් ගෙන ගිය ජනතාවට අමු කිරි භාවිතයට ඇති අයිතිය නැවත ප‍්‍රතිස්ථාපනය කිරීම (I Would Like To Restore Your Right To Drink Raw Milk) වැනි වැඩසටහන් හේතුවෙනි. දැන් ඔවුන් ගේ ඉහළ ඉල්ලූම හෝමෝන එන්නත් නොකළ කාබනිකව සහතික කළ ආහාර ලබා දෙන කිරි දෙනුන් ගෙන් දොවා ගත් වස විස නොයොදා නිපදනවන කාබනික කිරි ආහාරයි. නමුත් අප තවමත් දේශීයව වේවා ආනයනික වේවා වස විස පූර්ණ කිරි පිටි මත ම යැපෙමින් සිටිමු.

අපිට ද අමු කිරි (Raw milk) පරිභෝජනය කළ සංස්කෘතියක් තිබුණ පාරම්පරිකව හිමිව තිබුණේ ය. අමු කිරි සෙම ඇති කරන බවටත් කිරි පිටි ඉතා පහසුවෙන් සකසා ගත හැකි බවටත් කිරි පිටි සමාගම් මඟින් අපට ඉගැන්වූ මිත්‍යාවට යට වූ අපි කිරි ආහාර සංස්කෘතිය විනාශ කර ගත්තෙමු. කිරි පානයේ දී යම් සංකූලතාවක් ඇති වීම වැළැක්වීමට ඉඟුරු මිශ‍්‍ර කිරීම මගින් අප පුරුදු වී සිටියෙමු. 2012 වසර වන විටත් ශ‍්‍රී ලංකාව ලොව නව වැනි විශාලතම මී කිරි නිෂ්පාදකයා ය. එහි අගය වාර්ෂිකව ටොන් 50,000 කි. එළ කිරි නිෂ්පාදනය තව දුරටත් ඉහළ දැමිය හැකි ශක්‍යතාවයකින් යුක්ත ය.

කිරි නිෂ්පාදන වැඩුණු මිනිසුන් සඳහා ගත හැකි හොඳම ආහාරයක් නොවුවත් වස විස නැති කෘත‍්‍රිම මූලද්‍රව්‍ය නැති කිරි නිෂ්පාදන වැඩිහිටි අපට අකැප නොවේ. නමුත් කුමන පදනමකින්වත් ළඳරු ආහාර ලෙස ගව කිරි ආශ‍්‍රිත නිෂ්පාදන දරුවන්ට නොදිය යුතුම ය. ප‍්‍රකට යෝගට් සමාගම් ඔවුන් ගේ යෝගට්වල Dr10 නැමැති පෝෂණය අඩංගු බව කියන ප‍්‍රචාරණ දැන්වීම් පළ කරනු දැක ඇතත් එවැනි පෝෂණීය රසායනිකයක් ගැන මා අසා නැත.

අප සිතිය යුත්තේ ඔවුන් පවසන්නේ සැගවූ සත්‍යයක් බවයි. එනම් එම යෝගට් හෝ ඔවුන් ගේ කිරි නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් පසු Dr10 හෙවත් දොස්තරලා 10 ක් ගෙන් වන ප‍්‍රතිකාර නොගෙන දිවිය පවත්වා ගෙන යා නොහැකි වනු ඇති බව විය හැකි ය. ජනතාව ගෙන් බහුතරයකට පවතින ආමාශ ගින්න (ගැස්ටි‍්‍රට‍්‍රයිස්) හා ළදරු දියවැඩියාව කිරි පිටි සමඟ එන වස විසෙන් හටගත් රෝග ලෙස මෑතක දී හඳුනා ගෙන ඇත.

සමාගම් හා මාධ්‍ය ප‍්‍රචාරණය විසින් කිරි පිටි පිළිබඳ සගවන ලද සත්‍ය බිඳක් දැන් එළියට පැමිණ ඇත. මේ සත්‍යය අපට බල කර සිටින්නේ ආනයනික හෝ දේශීය පිටි කළ කිරි භාවිතයෙන් මිදී දේශීය දියර කිරි (Raw milk) පරිභෝජනයට හුරුවීම යහපත් බවයි. කාබනිකව සහතික කළ කිරි ඉල්ලා සිටින්නට දිරියක් ගොඩනඟා ගැනීම දැයට නීරෝගි දිවියක් පතන සැම ගේ අදිටන වීම කොහොමටත් හොඳ බව ය.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top