දැනුම

සිහින පිලිබද විද්‍යාත්මක මත

නින්දේදී සිහින නොදකින කෙනෙක් නැහැ. යම් කෙනකු අවු. 70 වනවිට සිහින 150000ක් පමණ දැක තිබෙනවා. මේ අතර යම් පුද්ගලයකු වසරකට භයානක සිහින 24ක්වත් දකින බව කියනවා. නමුත් එදිනෙදා සිහිනවල වැඩිපුරම තියෙන්නේ අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වන දේවල්. වෙළෙඳපොළට බඩු ගන්න යනවා, මිත්‍රයකු සමග සාදයකට යනවා, දතක් ගැලවෙනවා, බාර් එකට ගිහින් බොනවා, නාන්න ගිහින් ගඟේ ගිලෙනවා, අහසේ පියාඹලා යනවා. අපි දකින සිහිනවල වැඩිපුරම දකින්නේ ප්‍රචණ්ඩත්වය හෝ හානිකර දේවල් කියලා සමීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

පිරිමින් දකින සිහිනවලින් 47%ක් ද කාන්තාවන් දකින සිහිනවලින් 44%ක් ද ප්‍රචණ්ඩ සිදුවීම් හා සම්බන්ධ වෙනවා.

සිහින ගැන කියන විට සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා අමතක කරන්න බෑ. සිහින විශාල සංඛ්‍යාවක් අධ්‍යනය කර ලොවට මුලින්ම විද්‍යාත්මකව ඉදිරිපත් කළේ සිග්මන් ප්‍රොයිඩ්. ප්‍රොයිඩ් සිහින ගැන මෙහෙම කීවා.

“අපගේ යටි හිතට ප්‍රවිශ්ඨ වෙන්න තියන රාජකීය මාවත තමයි සිහින”

(“Dreams are royal road to the unconscious mind”) අපි ප්‍රොයිඩ් සිහින විග්‍රහ කළ ආකාරය බලමු. ප්‍රොයිඩ්ට අනුව අපේ මනස කොටස් තුනකට බෙදෙනවා. උඩු සිත (Super – ego) මැද සිත (Ego) සහ යටි සිත (Id). ප්‍රොයිඩ්ට අනුව අපගේ මෙම සිත්වල විශාලම කොටසට යටි සිතයි. අපගේ ප්‍රචණ්ඩ සිතුවිලි, ලිංගික ආශාවන්, බලය පිළිබඳ තිබෙන කෑදරකම යන මේ සියල්ල සැඟවී තිබෙන්නේ මේ යටි සිත තුළ කියලා සිග්මන් ප්‍රොයිඩ් කීවා. එය ඔහු සමාන කළා අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කන්දකට. ඔබ කවුරැත් දන්නවා ටයිටැනික් නෞකාව විනාශ වෙන්නේ මුහුද යට තියෙන මේ අයිස් කන්දේ වැදිලා කියලා. මුහුද යට තියන මේ අයිස් කන්දේ ප්‍රමාණය අති විශාලයි. එය උඩට පේන්නේ නැහැ. ප්‍රොයිඩ්ට අනුව යටි සිතත් එහෙම තමයි. බැලූ බැල්මටම අපට යටි සිතේ තියෙන දේවල් පේන්නේ නැහැ.

ප්‍රොයිඩ් සිහින ගැන මෙහෙම කීවා. සිහින කියන්නේ අපගේ යටි හිතේ තියන නොවිසඳුණු ආශාවන් සංසිඳුවා ගන්න තිබෙන එක්තරා ක්‍රමවේදයක් කියලා. මොකද එම ආශාවන් ක්ෂණිකව උඩු සිතට ගත්තොත් බැලූ බැල්මටම එය අපට තර්ජනයක්. ප්‍රොයිඩ්ට අනුව අපගේ සැබෑ ආශාව සිහිනයෙන් පෙන්නුම් කරන්නේ නෑ. ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිහිනය තුළ තිබෙන්නේ. ඔහු කීවා අපට පේන සිහින තුළ තිබෙන සත්‍ය හෝ යතාර්ථය සැඟවිලා තිබෙන්නේ ඒවායේ පෙනෙන ලකුණු (Symbols) තුළ බව. අපි මෙය උදාහරණයක් මගින් බලමු.

අපි හිතමු ඔහු නිමල් කියලා. නිමල්ගේ වයස අවු. 25යි. නිමල් නයෝමි සමඟ ප්‍රේමයෙන් බැඳී දැන් අවු. 2ක් වෙනවා. නිමල්ට විවාහයට පෙර නයෝමි සමග ලිංගිකව එකතු වීමේ ආශාවක් ඇති වෙනවා. නමුත් නයෝමි බොහෝ සිරිත් විරිත් අනුව ගතානුගතික සම්ප්‍රදායට ජීවත් වූ නිසා ඇය මේක ප්‍රතික්ෂේප කළා. මේ ප්‍රශ්නය නිසා දෙදෙනා අතර පොඩි හිත් අමනාපකමක් ද ඇති වුණා. මේ ගැටලුව සමග අපට යොමු වූ නිමල් නිතර නිතර දකින සිහිනයක් මෙසේ විග්‍රහ කළා. ඔහු මෙහෙම කීවා. “මම නිතරම සිහිනෙන් දකිනවා මට පියාපත් දෙකක් ලැබිලා අහසේ නිදහසේ පියාඹලා යනවා. එහෙම යනකොට මට පුදුම සතුටක් සහ සැහැල්ලුවක් දැනෙනවා” සිග්මන් ප්‍රොයිඩ්ට අනුව අහසේ පියෑඹීම සැඟවුණු ලිංගික ආශාව පෙන්නුම් කරන ‘ලකුණයි’. ප්‍රොයිඩ් කීවේ මේ සිහිනය මගින් ඔහුගේ පෙම්වතිය ලිංගික සංසර්ගයට ඉඩ නොදෙන නිසා ඇති වන පීඩනය අවම වන බවයි.

ප්‍රොයිඩ්ගේ සිහින පිළිබඳ මතය pet’s ස්කෑන් මගින් තරමක් දුරට තහවුරු කර ඇත. එනම් අපට මෙම බොහෝ සිහින පෙනෙන්නේ R.E.M (ඇස් වේගයෙන් චලනය වන) නින්දේදීය. මෙහිදී මොළයේ හැඟීම්වලට අදාළ මධ්‍යස්ථාන අවධි වන අතර බුද්ධිය සහ තර්කයට අදාළ මධ්‍යස්ථාන වැසී පවතී. මෙවැනි අවස්ථාවකදී සැඟවුණු ආශාවන්, හැඟීම් සහ භීතීන් අවදි වී පාලනයකින් තොරව නොයෙකුත් සිහින බවට පත්විය හැකි බව මෙම ස්කෑන්වලින් පෙනී ගොස් ඇත.

ප්‍රොයිඩ්ගේ මතයට විරුද්ධව ඉදිරිපත් වී ඇති සිහින පිළිබඳ තවත් මතයක් වන්නේ සිහින යනු ‘අප ආරක්ෂා කිරීමට පරිණාමයෙන් අපිට උරුම වී ඇති ස්වභාවික හැකියාවක් බවයි’ (Dreams for survival theory) සත්ව පරිණාමයේදී ඔවුනට තිබුණේ කුඩා මොළයකි. මෙම සතුන් අවදියෙන් සිටීමේදී එදිනෙදා ජීවිතයේ එන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මෙම කුඩා මොළය ප්‍රමාණවත් නොවූ බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

♦ කිරිබත්ගොඩ මූලික රෝහලේ
මානසික වෛද්‍ය
නයනානන්ද කුමාරනායක

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top