දැනුම

පිටසක්වළ ජීවය සොයන කෘත්‍රිම බුද්ධි ‘රොබර්ට්

පිටසක්වළ ජීවය සම්බන්ධයෙන් අපට පළමුවෙන්ම හෝඩුවාවක් සොයා දීමට හැකි වනු ඇත්තේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. විශ්වයේ ඈත ග‍්‍රහමණ්ඩලවලින් නිකුත් කෙරෙන සංඥ‌ා, ආලෝක ධාරා පිළිබඳ දත්ත රැස්කර ගනිමින්, පිටසක්වළ ජීවය ඇත්දැයි සෙවීම මෙම මෘදුකාංගයේ අරමුණ වෙයි. විද්‍යාඥයන් මෙය ‘රොබර්ට්’ යනුවෙන් නම් කර ඇත්තේ, ‘රොබෝ බාහීර ග‍්‍රහයන් හඳුනා ගන්නා’ යන අර්ථය ඇතිවය.

මෙම ‘රොබර්ට්’ මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ, අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති ග‍්‍රහමණ්ඩල ගැන වසර ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයන් විසින් ලබාගත් තොරතුරු සහ දත්තද ඇතුළත් කරමිනි. ‘රොබර්ට්’ වෙත ලැබෙන දත්ත එම දත්ත සහ තොරතුරු සමඟ සංසන්දනය කෙරේ. ‘රොබර්ට්’ පිටසක්වළ ජීවය ඇතැයි සොයනු ඇත්තේ ඒ අනුවය.

‘රොබර්ට්’ මෘදුකාංගය යොද‌ා ගනිමින් පිටසක්වළ ජීවය තිබෙනවා දැයි සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. මෙම ගවේෂණය මීට පෙර, පිටසක්වළ ජීවය තිබෙනවා දැයි සෙවීමට ආරම්භ කළ ගවේෂණ මෙන් නොවේ. මීට පෙර, පිටසක්වළ ජීවය ඇතිදැයි සොයන ‘සෙටී’ මෙහෙයුමේදී මෙන්, විශ්වයෙන් පැමිණෙන පිටසක්වළ ගුවන් විදුලි සංඥ‌ාවලට කන්දීමක් මෙහිදී සිදු නොවෙයි.

පෘථිවියේ තිබෙන රේඩියෝ දුරේක්ෂ නැති නම් ගුවන් විදුලි දුරේක්ෂ, පෘථිවියට සමාන යැයි හඳුනා ගන්නා ග‍්‍රහලෝකවලට එල්ල කර ඒවායින් ලබා ගන්නා ගුවන් විදුලි සංඥ‌ාද යොද‌ා ගනිමින් ‘රොබර්ට්’ මෘදුකාංගය ක්‍රියාත්මක වන බව එය නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමියකු වුණු ආචාර්ය ඉන්ඩෝ වෝල්ඩ්මාන් පවසයි.

මේ වන විට පෘථිවිය හා සමානකම් ඇති බවට හඳුනාගත් විශ්වයේ ඇති ආගන්තුක ග‍්‍රහලෝක 86ක් පරීක්ෂාවට ලක් කෙරේ. මෙම ග‍්‍රහලෝකවලින් ගුවන් විදුලි තරංග නිකුත් කෙරෙනවා නම් ඒවා පෘථිවියේ ඇති ගුවන් විදුලි දුරේක්ෂවලින් හසුකර ගැනීමට හැකි වේවි, එසේ වුවහොත්, එම ග‍්‍රහලෝක අසූ හයෙන් එකක දියුණු පිටසක්වළ ජීවීන්ගේ ශිෂ්ටාචාරයක් තිබෙන බව තහවුරු වෙයි.

විද්‍යාඥයන් පරීක්ෂා කරන්නේ ආගන්තුක ග‍්‍රහලෝක 86ක් වුවත්, පෘථිවිය හා සමාන යැයි සැලකෙන ග‍්‍රහලෝක 1,235ක් මේ වන විට සොයා ගෙන තිබෙනවා යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ ග‍්‍රහලෝක හමුවී ඇත්තේ, නාසා ආයතනයේ ‘කෙප්ලර්’ දුරේක්ෂයේ සහාය ඇතිවය. නාසා විද්‍යාඥයන් කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රැඳෙව්වේ පෘථිවිය හා සමාන ග‍්‍රහලෝක සෙවීමේ අරමුණ ඇතිවය.

කෙප්ලර් සොයාගත් ග‍්‍රහලෝක අතරින් තෝරාගත් ග‍්‍රහලෝක 86 ගැන ඇමෙරිකාවේ කැලිෆෝනියා බාක්ලී සරසවියේ භෞතික විද්‍යාඥ ඩෑන් වර්ටිමර් මෙසේ පැහැදිලි කරයි. “ගවේෂණය සඳහා අප තෝරාගත්තේ ජීවය පැවැතීමට සුදුසු ආකාරයේ උෂ්ණත්වයක්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 0 සිට 100 අතර (ෆැරන්හයිට් අංශක 32 සිට 212 ක්) උෂ්ණත්වයක් පවතින ග‍්‍රහලෝක පමණයි.”

අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top