දැනුම

විදුලිය ගැන ඔබ නොදත් කරුණු

අප මෙතෙක්‌ පළ කළ බලශක්‌ති ලිපි පෙළෙන් ගෙදර දොරේ දී බලශක්‌තිය ඉතිරි කළ හැකි අකාරය පිළිබඳව ඔබ දැනුවත් වන්නට ඇත. අද පළ වන ලිපිය එම ලිපිවලට වඩා තරමක්‌ වෙනස්‌ ය. එනම්, බලශක්‌තිය අපේ එදිනෙදා ජීවිතයට වැදගත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඔබව දැනුවත් විය යුතු යෑයි අපි සිතුවෙමු. ඒ අනුව සකස්‌ වූ මේ ලිපිය බලශක්‌තිය ගැන සැකෙවින් විස්‌තර කරයි.

විදුලිය කප්පාදුවක්‌ ඇති වන විට ලංකාවේ විදුලිබල ක්‌ෂේත්‍රයේ අර්බුදයක්‌ හෙවත් බලශක්‌ති අර්බුදයක්‌ ඇති බවට කලින් කලට මාධ්‍ය, රාජ්‍ය පාලකයන් සහ පොදු ජනයා අතර සංවාද ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්‌ බවට පත් වී ඇත.

මෙකී අර්බුදය නිර්මාණය වන්නේ කෙසේ දැයි විමසීමට ප්‍රථම විශේෂ කරුණක්‌ සඳහන් කළ යුතු ව ඇත. මේ විෂය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට යොදාගන්නා විශේෂ වචන සහ සංකල්ප පිළිබඳව සාමාන්‍ය සිංහල පාඨකයා අතර වික්‌ෂිප්ත බවක්‌ දක්‌නට ලැබේ. සිංහල මාධ්‍යයෙන් මේ සම්බන්ධයෙන් පළ වන ලිපිවල අඩුව ද, සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ මේ විෂය සම්බන්ධයෙන් ඇති වචන භාවිතයට සමාජයේ ඇති නුහුරුව ද මීට අඩු වැඩි වශයෙන් බලපා ඇත.

මේ අඩුව ඌනපූරණය කිරීමට කරන වෑයමක්‌ වශයෙන් පළ කරන ලිපි මාලාවක පළමුවැනි කොටසයි මේ. තේරුම්ගැනීමේ පහසුව සඳහා එදිනෙදා භාවිතයේ දී වැඩිපුර යොදාගන්නා ඉංග්‍රීසි වචන වරහන් තුළ යොදා ඇත.

බලශක්‌තිය (Power) සහ ශක්‌තිය (Energy)

ශක්‌තිය යනු සරලව කාර්යයක්‌ කරගැනීමට ඇති හැකියාවයි. උදාහරණයක්‌ ලෙස යම් ස්‌කන්ධයක්‌ ඇති දෙයක්‌ තැනකින් තවත් තැනකට ගෙන යැමට ශක්‌තිය වැය කළ යුතු ය. සාමාන්‍ය භාවිතයේ දී ශක්‌තිය කැලරි (Calorie) හෝ ජූල් (Joule) නමැති ඒකකවලින් මනිනු ලැබේ. නිව්ටන් එකක බලයක්‌ යොදා කිසියම් ස්‌කන්ධයක්‌ බලය යොදන දිශාවට මීටරයක දුරක්‌ රැගෙන යැමට වැය වන ශක්‌තිය ජූල් එකක්‌ ලෙස අර්ථ දැක්‌වේ. (නිව්ටන් එකක බලයක්‌ යනු කිලෝග්රෑම් 1ක ස්‌කන්ධයක්‌ ඇති වස්‌තුවක්‌ සැම තත්පරයක දී ම තත්පරයට මීටර 1ක්‌ බැගින් ත්වරණය – accelerate – කිරීම සඳහා අවශ්‍ය කරන බලයයි. (1N = 1kg m/s2)

ශක්‌තිය නොයෙකුත් ආකාරවලින් (forms ofenergy) පවතින අතර අපත් පරිසරයත් සම`ග නිරන්තරයෙන් ගැටේ.

උදා :-

* ආලෝක ශක්‌තිය (විදුලි බුබුළ, හිරු එළිය)

* රසායනික ශක්‌තිය (ආහාර, විදුලි කෝෂ (battery)

ඉහත දක්‌වා ඇති සැම ශක්‌තියක ම ප්‍රමාණය ජූල්වලින් හෝ කැලරිවලින් හෝ මැනිය හැකි ය.

බලශක්‌තිය (power) යනු එම කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයි. මෙය සාමාන්‍යයෙන් වොට්‌ (W -Watt) වලින් හෝ කිලෝවොට්‌ (kW – kiloWatt) වලින් මනිනු ලැබේ. ජූල් එකක කාර්යයක්‌ තත්පර එකක්‌ තුළ දී කළ විට ශක්‌තිය වැය වීමේ ශීඝ්‍රතාව හෙවත් ජවය වොට්‌ එකක්‌ (1 W) ලෙස දක්‌වනු ලැබේ.

මීට සමාන්තර ව විදුලි බුබුළක්‌ වොට්‌ 60 (60 Watt) යනුවෙන් සඳහන් කිරීමෙන් පවසනුයේ එම විදුලි බුබුළ තත්පරයක දී ජූල් 60ක ශක්‌තිය පරිභෝජනය කරන (ආලෝක ශක්‌තියට පරිවර්තනය කරන) බවකි.

නිවසක විදුලි බිල සහ ශක්‌තිය

විදුලිය සඳහා ඔබ විදුලි බල මණ්‌ඩලයට ගෙවන්නේ ඔබ භාවිත කළ ශක්‌ති (Energy) ප්‍රමාණයට ය. ඔබ නිවසේ ඇති විදුලි බිල ගෙන බැලුව හොත් එහි ඇත්තේ විදුලි ඒකක (යුනිට්‌ – unit) සඳහා අය කිරීමකි. මේ කුමක්‌ ද?

මෙහි දක්‌වා ඇති ‘යුනිට්‌ එකක්‌’ වන්නේ කිලෝවොට්‌ පැය (kWh ) kiloWatt Hour) යන ඒකකයයි. වොට්‌ 1000ක්‌ එනම් කිලෝවොට්‌ එකක්‌ (1kW = 1000 W) පැයක කාලයක්‌ පුරා පරිභෝජනය කළ විට 1 kWh එකක්‌ වැය වේ. මෙය ජූල්වලින් ප්‍රකාශ කළ හොත් ජූල් මිලියන 3.6ක ශක්‌ති ප්‍රමාණයක්‌ ඔබගේ විදුලි බිලෙහි එක ඒකකයක්‌ (එනම් යුනිට්‌ එකක්‌) හා සමාන වේ.

බලශක්‌තිය සහ ශක්‌ති ප්‍රභව

බලශක්‌තිය යන වචනය ඇසූ විට එක්‌ වර ම අපගේ මතකයට එන්නේ විදුලිය, ගෑස්‌, පෙට්‌රල්, ඩීසල්, භූමි තෙල්, ගල් අඟුරු වැනි වචන ය. මේවායින් විදුලිය හැරුණු විට අනෙක්‌ ඒවා ශක්‌ති ප්‍රභව (energy sources) වුවත්, ශ්‍රී ලංකාවේ ඇති දේශීය ශක්‌ති ප්‍රභව නො වේ. මේවා පමණක්‌ අප සිහියට ඒමට හේතුව වන්නේ එදිනෙදා වෙළෙඳ පොළේ ආර්ථික වටිනාකමක්‌ ඇති ව හුවමාරු වන බලශක්‌ති ප්‍රභව මේවා වන බැවිනි. හොඳ ම උදාහරණ වන්නේ විදුලි බිල, පෙට්‌රල් බිල හා ගෑස්‌ මිල ආදී වශයෙන් අපගේ පසුම්බියෙන් මුදල් වැය කරනුයේ මේ ශක්‌ති ප්‍රභේද සඳහා වීම ය. අනෙකුත් දේශීය ශක්‌ති ප්‍රභව තිබුණ ද ඒවාට අප ආර්ථික වටිනාකමක්‌ එදිනෙදා වැඩකටයුතුවල දී ආදේශ නො කරන බැවින් අනෙකුත් ප්‍රභව අප වටා තිබෙන බව බොහෝ විට අපට හැ`ගී නො යයි (උදා :- සූර්ය ශක්‌තියෙන් ඇඳුම් වියළාගැනීම).

ශ්‍රී ලංකාවේ ශක්‌ති ප්‍රභවවල භාවිතයේ විකාශනය

ලංකාවේ මිනිසුන් භාවිත කරන විශාල ම ශක්‌ති ප්‍රභවය කුමක්‌ ද කියා ඔබෙන් කවුරුන් හෝ ඇසුව හොත්, බොහෝ දෙනකු පවසනු ඇත්තේ ඛනිජ තෙල්, ගල් අඟුරු වැනි පිළිතුරු ය. එහෙත් නිවැරැදි පිළිතුර වන්නේ දැව (දර) ය.

පහත ප්‍රස්‌ථාරයෙන් දැක්‌වෙන පසුගිය දශක හතරෙහි ලංකාවේ ශක්‌ති ප්‍රභව භාවිතයේ පරිණාමය මේ සඳහා සාක්‌ෂි දරනු ඇත.

මෙරට ඇති දේශීය බලශක්‌ති ප්‍රභවවලින් අප භාවිතයට සුලබ ලෙස ලබාගනුයේ,

* දැව (දර)

* සූර්ය බලය

* සුළං

* ජල විභවය (ජල විදුලිය)

ශ්‍රී ලංකාවේ දේශීය ශක්‌ති ප්‍රභව ඇති නමුත් මේවා සඳහා අප සෘජු ව මුදලක්‌ නො ගෙවන බැවින් (විදුලිය හැරෙන්නට) මේවා අප රටේ තිබෙන බව අපට එදිනෙදා ජීවිතයේ දී අපට හැ`ගී නො යයි. උදාහරණයක්‌ ලෙස දර බොහෝ විට නොමිලේ එකතු කරගන්නා අතර අනෙක්‌ ඉහත සඳහන් ප්‍රභව සඳහා අප මිලක්‌ ගෙවනුයේ වක්‍රාකාර ලෙස ‘විදුලි බිල’ නමැති පොදු නාමයෙනි (ජල විදුලිය, සූර්ය, සුළං, ඛනිජ තෙල් හෝ ගල් අඟුරු ශක්‌තියෙන් උත්පාදනය කළ විදුලිය ආදි වශයෙන්).

ශ්‍රී ලංකාවේ ශක්‌ති පරිභෝජනය

ඉහත ‘ලංකාවේ ශක්‌ති ප්‍රභවවල විකාශනය’ ප්‍රස්‌ථාරයෙන් දක්‌වා ඇති පරිදි,දරවලින් මෙරට බලශක්‌ති අවශ්‍යතාවෙන් වැඩි කොටසක්‌ සපයනු ලැබේ. සියලු ම ඛනිජ තෙල් වර්ගවල (පෙට්‌රල්, ඩීසල් හා භූමි තෙල්) හා ගල් අඟුරු ද එකතු කළ විට ලැබෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රමාණයක බලශක්‌ති අවශ්‍යතාවක්‌ දර ම`ගින් ලබා දෙනු ලැබේ. 2014 වර්ෂයේ ශ්‍රී ලාංකිකයන්ගේ ශක්‌ති අවශ්‍යතාවෙන් 42.5%ක ප්‍රතිශතයක්‌ සපයා ඇත්තේ දැව (biomass) ම`ගිනි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අප රටේ 78%ක්‌ නිවෙස්‌වල ආහාර පිසීම සඳහා යොදාගන්නා ශක්‌ති ප්‍රභවය වන්නේ දර වීම ය.

ප්‍රස්‌ථාරය නිරීක්‌ෂණය කරන විට දැකිය හැකි අනෙක්‌ වැදගත් කරුණ වන්නේ පසුගිය දශක හතර පුරා වැඩි වන බලශක්‌ති ඉල්ලුම පිරිමසින ලද්දේ ආනයනය කරන ඛනිජ තෙල් ම`ගින් වීම ය. එනම් වැඩි වන ශක්‌ති ඉල්ලුම පිරිමැසීමට සිදු වී ඇත්තේ ඛනිජ තෙල් ආනයනය කිරීම ම`ගිනි. මෙහි ඇති භයානකකම වන්නේ අප ද්‍රවමය ඛනිජ තෙල් උගුලක (Liquid PetroleumTrap) රටක්‌ ලෙසින් සිර වීමට යන ගමනයි. ඉහත ප්‍රස්‌ථාරය මැනැවින් එය පෙන්නුම් කරයි.

විදුලිය

බලශක්‌තිය සම`ග නිරතුරු ව ම කියවෙන නො කියා බැරි වචනයකි ‘විදුලිය’. අප පැහැදිලි ව තේරුම්ගත යුතු කරුණක්‌ වන්නේ විදුලිය යනු දැව, සූර්ය බලය, සුළං, ගල් අඟුරු, බොර තෙල් වැනි ස්‌වාභාවික ව ම පවතින ප්‍රාථමික ශක්‌ති ප්‍රභවයක්‌ නො වන අතර එම ප්‍රාථමික ශක්‌ති ප්‍රභව උපයෝගී කරගෙන නිපදවන ද්විතීයික ශක්‌ති ප්‍රභවයක්‌ පමණක්‌ බව ය. (seondary energy form.

මෙය සරල උදාහරණයකින් පැහැදිලි කළ හොත් විදුලි බලාගාරයක දී ප්‍රාථමික ශක්‌ති ප්‍රභවයක්‌ (ජලයේ විභව ශක්‌තියෙන්, ගල් අඟුරු/ඛනිජ තෙල්වල ශක්‌තියෙන්) උපයෝගී කොටගෙන විදුලිය නිපදවන අතර එම විදුලිය අප නිවසට පැමිණි විට අප එම විදුලිය භාවිතයට ගන්නේ නැවතත් ස්‌වාභාවික ව පවතින ශක්‌ති ප්‍රභේදයක්‌ බවට පරිවර්තනය කිරීමෙනි.

මෙය පැහැදිලි කරගැනීමට ඔබ පවුලේ අය සම`ග රුපවාහිනිය නරඹන අවස්‌ථාවක්‌ සිහියට න`ගාගන්න.

විදුලි ශක්‌තිය (Electrical Energy) ලෙසින් ඔබ නිවසට පැමිණෙන ශක්‌තිය, ඔබ නොදැනුවත්ව ම ඔබ වටපිටාවේ විවිධ ආකාරයෙන් ඔබ භාවිතයට ගනු ලැබේ.

* ආලෝක ශක්‌තිය – රුපවාහිනිය, විදුලි බල්බය

* ශබ්ද ශක්‌තිය – home theatre system

* චාලක ශක්‌තිය – විදුලි පංකාව

* තාප ශක්‌තිය – විදුලි කේතලයක්‌ හෝ හීටරයක්‌ භාවිත වන්නේ නම්

විදුලි බලාගාරයේ සිට ද්විතීයික ශක්‌ති ප්‍රභවයක්‌ (secondary energy form) ලෙස නිවසට පැමිණෙන විදුලි ශක්‌තිය ඔබ විසින් මෙලෙස භාවිතයට ගනු ලබන්නේ නැවතත් ස්‌වාභාවිකව පවතින ශක්‌ති ප්‍රභවයක්‌ (ආලෝක ශක්‌තිය, ශබ්ද ශක්‌තිය) ලෙසින් මිස විදුලි ශක්‌තිය ලෙසින් නො වේ.

අප නොදැනුවත්ව ම විදුලිය අප ජීවිතය සම`ග කොපමණ බැ`දී ඇත් දැයි දැනගැනීමට මේ නිදසුන ප්‍රමාණවත් වනු ඇත. විදුලිය යනු නූතන මානවයාට ඔක්‌සිජන් වැනි දෙයකි. එය ඇති විට කිසි විටකත් එය පවතින බව හෝ අප භාවිතයට ගන්නා බව අප සිහියට නො නැෙ`ග්. එහෙත් එය නොමැති වූ විට? එය නොමැති බව අපට වහා තේරුම් යයි. හදිසියේ ඔබ නිවසට විදුලිය කැපීමක්‌ සිදු වූ අවස්‌ථාවක්‌ සිහියට න`ගාගැනීමෙන් මෙය තේරුම්ගත හැකි ය.

ලංකාවේ විදුලි බලශක්‌ති අර්බුදය හා ආර්ථිකය අතර ඇති සම්බන්ධය පිළිබඳ සරල පැහැදිලි කිරීමක්‌ ඉදිරියේ ලිපියකින් බලාපොරොත්තු වන්න.

ශ්‍රී ලංකා බලශක්‌ති කළමනාකරුවන්ගේ සංගමයේ
නදීර විඡේසිංහ
උපුටා ගැනීම – විදුසර

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top