ලෝකය

බිංදුවෙන් පටන් ගත්ත සාර්ථක ව්‍යාපාරිකයෙක්

තාරුණ්‍යයේදී බොහෝ තරුණයන්ගේ ආසාව වන්නේ ටයි – කෝට් ඇඳි – පැළැඳි රස්සාවක නිරත වීමය. එලෙසින් වාසනාවන්තවී බැංකු සේවයේ රැකියාවක් කළ ඔහු ඒ වනවිට කටයුතු කළේ විධායක ශ්‍රේණියේ සේවකයකු ලෙසය. එහෙව් වූ තරුණයකු උදේ සේවයට ගොස් ඇවිත් හවස විදෙස් ගතවීමට නම් විශේෂිත වූ හේතු කාරනාවක් තිබිය යුතුය.

ආචාර්ය සුචින්ත ප්‍රනාන්දු

එහෙත් ඔහු එදා විදෙස්ගතවීමට තීරණය කළේ බැංකු විධායක ශ්‍රේණියේ රස්සාවට සමුදීමෙන් අනතුරුවය. ඉනික්බිතිව ඉතාලිය බලා පිටත්ව ගියේය.

‘මම ඒ වනවිට විවාහ වෙලා හිටියෙ. බිරිඳ පදිංචි වෙලා හිටියෙ ඉතාලියේ. විවාහයෙන් පස්සෙ අපි දෙන්නා දෙතැනක සිටීමට වඩා මට ඇය එක්ක ජීවත්වීමේ අපේක්ෂාව තිබුණෙ. සෙලාන් බැංකුවේ කළ රස්සාවටත් සමුදීලා ඒ නිසයි ඉතාලිය බලා පිටත්ව ගියේ.

එදා එලෙසින් ඔහුට දෙකින් එකක් තෝරා ගැනීමට සිදුව තිබිණි. එනම් එක්කෝ විධායක ශ්‍රේණියේ රස්සාවේ නිරතවීම. නැතිනම් බිරිඳ සමග ඉතාලියේ සිට හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම. මෙම කාරණා දෙකින් එකක් ඔහු තෝරා ගත්තේය.

‘ජීවිතයට කෙසේ හෝ මුහුණ දීමේ අරමුණ විතරයි මට තිබුණෙ. ඒ හැරත් බිරිඳ මම එකට ජීවත්විය යුතුයි.

එදා එලෙසින් තීරණයක් අරගෙන ඉතාලියට ගොස් සිටි ඔහුට මෙරටදී මෙන් ටයි කෝට් පැළඳගෙන කරන රස්සාවක් නම් නොලැබිණි.

මම ඒ රටේ සංස්කෘතිය, භාෂාව ගැන දැනගෙන සිටියේ නැහැ. මොන උපාධිය තිබුණත් ඒ රටට ගියාම අපට කළ හැකි දේට වඩා ලැබෙන දේ කළ යුතු වෙනවා. ඒ වෙලාවෙ හැටියට මට රස්සාවක් ලැබුණා. රස්සාවක් කිව්වට ඒක කාර්යාලයීය එකක් නෙවෙයි. නිවසක වැඩ කරන්නයි තිබුණෙ. ඒ ගෙදර පිරිසිදු කිරීම් කිරීම මගේ රාජකාරියයි. ගෙදර බිම සේදීම. බාත් රූම් එක පිරිසිදු කිරීම වගේ දේවල් කළා.

​ෙම් විදියට වැඩකරද්දී දිනෙක මම මුහුණ බලන කණ්ණාඩිය පිරිසිදු කරද්දී මට පෙනුණෙ මගේ මුහුණ. සාමාන්‍යයෙන් මම නිතරම හැඟුම්බර වන කෙනෙක් නෙවෙයි. ශක්තිමත් මනසක් මට තියෙන්නේ. ඒත් ජීවිතයේ පළමු වරට එදා මට ඇති වුණේ ලොකු දුකක්. මටත් හොරෙන් මගේ ඇස් දකෛන් පිරිච්ච කඳුළු දුටුවා. හැබැයි ඒක මට අමතක නොවන කඳුළු වැටීමක්.

පාසල් සමයේදී හොඳින් ක්‍රීඩා කරලා ජය පරාජය හොඳට හුරු කරගෙන හිටියත් ඒ මොහොතේ යම් තරමකට මානසික කඩා වැටීමට ලක්වෙලා හිටියෙ. සුපුරුදු පරිදි ඒ නිවසේ වැඩ නිමවා අපි පදිංචි වෙලා හිටපු තැනට ආවා. හැබැයි මගේ කඩා වැටීම මම බිරිඳට පෙන්නුවේ නැහැ.

එහෙම කළේ නම් එයා මට වඩා මා ගැන හිතලා කඩා වැටෙනවා. කොහොම වුණත් මට මගේ මනස හදා ගන්න ඕනෑ වුණා.

‘ශිරෝ මාව මොකක් හරි පල්ලියකට ගෙනියන්න පුළුවන්ද?

මම බිරිඳගෙන් ඇහුවා. මම බැංකු රස්සාව දාලා ආවෙ ඇය නිසා කියලා ඇය දැනගෙන සිටියෙ. ඒ නිසා මට වඩා හිතින් දුක් වුණේ එයා. ඒත් ඇයත් ධෛර්යවන්තව එයා දරාගෙන හිටියෙ. ඒත් මට එයාගෙ ඇස් දෙකෙන් එය තේරුණා.

‘ඔයා මං නිසා නේද මෙහෙම ඇවිත් දුක් විඳින්නේ.

වචනවලට හැරවුණේ නැතත් ඇයගෙ තොල්පට දෙපෙළ මුමුණේ එයයි. එදා බිරිඳ එක්ක පල්ලියට ගිය මම හොඳ හුස්මක් අරගෙන ගෙදර ආවා. කණ්ණාඩිය දිහා බලලා හිනාවෙලා, ආයෙත් ජීවිතය අලුතින්ම පටන් ගන්නවා කියලා හිතුවා.

ඉතාලියේ නිවසක එදා මම රස්සව කළේ මාස 6ක් විතරයි. ඉන්පසුව මට ලැබුණෙ කර්මාන්ත ශාලාවක රස්සාවක්. ඒක මුරකරුගෙ රස්සාව කිව්වොත් හරි. එය තිබුණෙ නගරයෙන් පිට ඈත ගමක නාපොලි සිට බොහෝ දුරක් යා යුතුයි. හරියටම කිව්වොත් දිනකට කිලෝමීටර් 40ක් විතර යා යුතුව තිබුණා. කෝච්චියෙන් ගියේ. ඇත්තම කිව්වොත් හරිම දුෂ්කරයි. රෑ වෙනතෙක් වැඩ කරලා උදේට ඇවිත් නිදා ගන්නවා. හවසට ආයෙත් මම පාසල් යන්න පටන් ගත්තා.

ජීවිතය යනු මියෙනතුරු ඉගෙන ගන්න තියෙන පාඩමක් නම්? ඔහු ඊට මුහුණ දුන්නේය. එදා කර්මාන්ත ශාලාවක මුරකරුවකු වැනි රස්සාවක් කළ ඔහු ඒ අතරේ එරටදී තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය හදා ගත්තේය. එනම් විදේශිකයන් වෙනුවෙන් ඉතාලි භාෂාව උගෙන සාමාන්‍ය පෙළට මෙන් විභාගයට මුහුණ දීමේ මාර්ගයට ඔහු එදා පෙළැඹිණි. විභාගයට සූදානම් වන අතරේ ඉතාලි භාෂාව බාහිරව ඉගෙනීමට ද ඔහු අවකාශය සාදා ගත්තේය.

මේ අවස්ථාව මට හරියට ඔටුන්නක් පැළඳුවාක් වගෙයි. මම සේවය කළ කර්මාන්ත ශාලාවේ අය බැංකුවක සේවය කර ඇති වග දැනගෙන හිටියේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පුළුවන් වූ නිසා එයාලා මට උදව්වක් කරන්නම් කිව්වා. මම ඇහුවා මොකක්ද කියලා.

මෙහේට එන විදේශීය රටවල අය එක්ක ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා අපට පරිවර්තනය කර දෙන්න. හැබැයි අපි ඒ වෙනුවෙන් ඔයාට ගෙවන්නෙ නැහැ.

කර්මාන්ත ශාලාවේ ප්‍රධානින් මට කිව්වෙ එහෙමයි. හරි නම් එයාලට උදව්කරන්නේ මමයි. ඒත් එයාලා කිව්ව දේට මම පිටුපෑවේ නැහැ. ඒ ලැබුණු දේ ඉහළින් ඉටු කළා. එය මටත් හොඳ අත්දැකීමක්. මගේ ඉංග්‍රීසි දැනුම වගේම ඉතාලි භාෂාවත් හොඳට මුවහත් කර ගන්න ඒ නිසා ලැබුණෙ ලොකු අවස්ථාවක්.

ඔයා මෙහේ ඔෆිස් එකක වැඩ කරන විදිය ඉගෙන ගන්න.

එයාලා මට කිව්වෙ එහෙමයි. ඇත්තෙන්ම ඒක ලොකු අවස්ථාවක්. පසුව එය ආයතනයේ ප්‍රවර්ධන කටයුතුවලට මාව යොදා ගත්තා. ඒ නිසා චීනය, ජපානය වැනි රටවලින් ආ විදේශීය අමුත්තන් සමග වෙළඳ සබඳතා ඇතිකර දෙන්න වගේම පිටරටවලට ගොස් ප්‍රවර්ධන කටයුතු කිරීමටත් එයාලා මාව යොදා ගත්තා.

මෙලෙසින් ස්වකීය ජීවිතයේ එදා එනම් වසර කීපයකට පෙරදී ගෙවූ ජීවිතයේ වැඩපල ගැන දිගහැර පාන ඔහු වත්මනෙහි ආයතන පහකට පමණ හිමිකාරිත්වය දරණ ධෛර්යවන්ත ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකි. එකි ව්‍යපාර ඔහු ස්ථාපිත කළේ ඉතාලියේදීය.

වින්ග්ස් ෆෝර් වර්ල්ඩ් (wings for world) චෙන්ත්‍රෝ මිග්‍රාන්ති (centro migranti) පැට්රොනා​ෙටා් (patronato ENAC) එක්ස්ප්‍රස් ලයින් (expresslines) CAF-UCI යනු ඒ ආයතනවල නාමයන්ය.

වින්ග්ස් ෆෝර් වර්ල්ඩ් ආයතනය යනු සංචාරකයන් සඳහා සේවා ලබාදෙන ආයතනයකි. එය අද ජනප්‍රිය නාමයක් දිනා ඇත. මේවා නිර්මාණය කළ ඒ අපූරු ශ්‍රී ලාංකිකයා නමින් සුචින්ත ප්‍රනාන්දුය. එදා ඉතාලියට ගොස් ජීවිතය එක් තැනකට දියකර නොහැරී ඔහු අද සාර්ථක ව්‍යවසායකයකු ලෙස ජීවිතය ජයගෙන ඇත්තේ අභියෝග රැසකට මුහුණ දීමෙනි.

ඉතාලියේදී ස්ථාපිත ආයතනයන්හි ශාඛා අද වනවිට ඔහු තම මව් රටේ පවා ව්‍යාප්ත කර තිබේ. ලෝකයට පියාඹන්න අත්තටු යන තේමාව යටතේ wings for world ඔහු ලෝකයට විවර කරදී තිබේ. විදේශයන්ට ගොස් ජීවිතය සොයා ගත නොහැකිව කතරක අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයින් අතර ජීවිතය සරුසාර මනරම් උයනක් කරගත් චරිත අපට හමුවේ. මේ සුචින්තද එවැනි චරිතයකැයි අපි හඟිමු. අභියෝග ජයගෙන ඉදිරියටම යන ඔහුගේ කතාවේ ඉතිරිය මීළඟට අපි කියවමු.

එදා ඒ රස්සාව කරමින් එක් තැනකට කොටුවී සිටින්න මට ඕනෑ වුණේ නැහැ. රැකියාවේ ස්වභාවය එක්ක මට ගෙයක් පවා ලැබී තිබුණා. ඒත් පල්ලියකට ගිහින් යාඥා කරන්න තරමටවත් ජීවිතයක් තිබුණෙ නැහැ. ඒ නිසා එක් රැයකින් තීරණයක් අරගෙන වියානා නගරයේ සිට කිලෝමීටර් හත්සියයක් පමණ ගෙවා වෙරෝනාවට අපි ආවා. වෙරෝනාව අතිශය රමණීය කලාගාරයක් බඳු වූ නගරයක්.

දැන් එහි සිට ආයෙත් මම ජීවිතය මුල සිට පටන් ගත යුතුයි. බිරිඳට රැකියාවක් ලැබුණා. ඇයට ඒ වෙනුවෙන් ලැබුණෙ යුරෝ 500ක මුදලක්. අපේ නවාතැනට කුලිය ලෙස යුරෝ 450ක් ගෙවීම කළා. ඉතිරි යුරෝ 50 තමයි ජීවත් වෙන්න තිබුණෙ. මේ අතරේ මම නිකන් හිටියේ නැහැ. වෙල්ඩින් වැඩ සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණා. ඒ නිසා ඒ අංශය ගැන ඉගෙන ගන්න කාර්මික පාසලකට ගියා. උගන්වන්නෙ නොමිලේ.

ඊට අමතරව ඉගෙන ගන්න අයට යුරෝ 3ක් දුන්නා. කෑමත් දුන්නා. පසුව සහතිකය ලබාගෙන වෙල්ඩර් කෙනෙකු ලෙස ආයතනයක රස්සාව හොයා ගත්තා. ඒක මම ජීවිතේ කිසිදාක ​ෙනාකළ රස්සාවක්. ඒත් සෑම දෙයකටම මුහුණදීමේ මානසික ශක්තිය මා සතු වූ දෙයක්.

ඉතාලියේ ප්‍රකට බැංකු ආයතනයකට විදේශීය සේවකයින් බඳවා ගැනීමේ පුවත ඔහුට කන වැකෙන්නේ මෙතැනදීය.ඒ අනුව සුචින්ත ප්‍රනාන්දු ඔහු සතු වූ සියලු සුදුසුකම් මත ඊට අයදුම් කළේය. ලංකාවේදී ලද අත්දැකීම් මෙන්ම වතාවක ලංකාවේ සිටියදී බැංකු ක්ෂේත්‍රයේ වැඩිදුර අධ්‍යාපන ලබාගැනීම සඳහා එංගලන්තයට ද ඔහු ගොස් සිටියේය. ඒ සියලු සහතික අත්දැකීම් එක්ක යළිත් ජීවිතය අලුතින් ඇරඹියේ ඉතාලියේ බැංකු රස්සාවකට එක්වෙමිනි.

සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි ඔහු මට ලිපි ලේඛන සැකසීම කරන්නට බැහැ. ඒත් බැංකුකරණය කියන්නෙ මට අමුතු දෙයක් නම් නෙවෙයි යනුවෙන් පරීක්ෂණ මඩුල්ල හමුවේ කියා සිටියේය.

බැංකුවට ඔහුගේ සේවය අත්‍යවශ්‍යය වූ බැවින් මක්නිසාද යත් අධ්‍යාපන සුදුසුකම්, වෘත්තිය සුදුසුකම්, පළපුරුද්ද සහ භාෂා හොඳින් ප්‍රගුණ කර තිබීම යන කාරණා මුල් කරගෙන වසරක කොන්ත්‍රාත් පදනම මත එරට ප්‍රධාන බැංකු ආයතනයක රැකියාව ඔහුට ලැබිණි.

රැකියාව ලද ඔහු පෙර සේවය කළ කර්මාන්ත ශාලාවට ගොස් ඒ බව කියා සිටියේය. එහි බලධාරීන් පුදුම වූවේ වෙන කිසිවක් නිසා නොවීය. කම්කරු රැකියාවක් කළ කෙනෙකුට එරට හැටියට මෙවන් උසස් මට්ටමේ රැකියාවකට එක්වර අවතීරණ වීම සිදු වන්නේ කලාතුරකින් වූ බැවිනි. ඔයාට අපි තවත් පඩිය වැඩිය කරන්නම් අපි එක්ක දිගටම ඉන්න. කර්මාන්ත ශාලාවේ ප්‍රධානින් එලෙස කීව ද නියමිත දින නිමවා සුචින්ත එයින් ඉවත්වී බැංකු රස්සාවට අවතීරණ වූවේය.

බැංකු රස්සාවට ගියාම මේක මට ​ඉතා පහසුවෙන් කරන්න පුළුවන් යන හැඟීම නිතැතින්ම ආ දෙයක්. සත්‍ය වශයෙන්ම කිව්වොත් ඉතාලි ජාතිකයන්ට වඩා අපේ ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ රාජකාරියේදී හොඳ ආත්ම ශක්තියක්. ඒ රටේ අය කැල්කියුලේටරයෙන් ගණන් හදද්දී අපි මනෝමයෙන් හදලා ඉවරයි. මේ විදියට මාස දෙක තුනක් යද්දී බැංකුව නියෝජනය කරමින් විදේශ රටවල සංචාරය කිරීමේ වරම පවා ඔවුන් මට ලබා දුන්නා.

බංකො පොපොලාරේදි වෙරෝනා බැංකුවේ එලෙසින් නැගී එන තරුවක වූ සුචින්ත ටික කාලයක් යද්දී එම බැංකුවට නැතුවම බැරි සේවකයකු බවට පත්විණි. එපමණක් නොවී ඔහුගේ රූපය බැංකුවේ ප්‍රවර්ධන හා ඡායාරූප කටයුතු සඳහා යොදා ගැනුණි. විදේශිකයින් ආකර්ශනය කර ගැනීම බැංකුවේ අරමුණ විය.

‘එතකොට මම දැන ගත්තා කිසි දිනෙක බැංකුව මාව අත් හරින්නෙ නැහැ කියලා. ඒ මගින් මම ජීවිතය තව තවත් මුවහත් කර ගත්තා. රටින් රටට යද්දි ගිවිසුම් අත්සන් කර නැවත බැංකුවට ආ පසු වසරක් ඇතුළත දී දෙවරක් මගේ සේවය උසස් කරන්න බලධාරීන් තීරණය කළා.

මගේ තරුණ වයසේදීම ඒ අවස්ථා ලැබීම ස්වර්ණමය අවස්ථාවක්. තරුණ අනාගත කළමනාකරුවන් 30 දෙනෙක් තෝරා ගත්තේ එම බැංකු ජාලයට අයත් 20,000ක් පමණ පිරිස අතරින්. ඊට මාත් ඇතුළත් වුණා. මේ තිස්දෙනා පසුව ඉතාලියේ බොක්කෝනි සරසවියට ​ෙයාමු කළේ බැංකු ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහායි.

ආචාර්ය උපාධියෙන් පසුව වෙරෝනාහි බැංකු ශාඛාවක කළමනාකරු ලෙස පත්වූ සුචින්ත හට ඊළඟට තවත් ග්‍රාමීය ශාඛා තුනක අධීක්ෂණ කටයුතු පවා පැවරිණි. පසුව ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් ලෙස පත්විය. ඒ අතරේ අනෙකුත් අයගේ ව්‍යාපාර ගොඩනැංවීම සඳහා ඔහු විශේෂී මෙහෙවරක් කළේය.

එලෙසින් කටයුතු කරද්දී තමයි මට එත්තු ගියේ මටත් ව්‍යාපාර කරන්න පුළුවනි කියලා. චෙන්ත්‍රෝ මිග්‍රාන්ති ඔෆ් වෙරෝනා නමින් 2006දී මගේම ආයතනයක් අරඹලා තිබුණෙ.

එයින් සිදු කළේ විදේශිකයින් සඳහා අවශ්‍ය ලිය කියවිලි කටයුතු සැකසීම පිළිබඳ ආයතනයක්. එහිදී විශාල විදේශීය පිරිසක් ඇසුරු කිරීමට ලැබීමත් එක්ක ගුවන් ටිකට් පත් අලෙවි කිරීමේ අරමුණ ඇතිව වින්ග්ස් ෆෝ වර්ල්ඩ් ආයතනය 2009 දී ස්ථාපිත කළා. මේ ඔක්කොම කළේ බැංකු රාජකාරී වලින් පසුවයි.

මගේ ආයතනවල වැඩ සඳහා රාත්‍රි කාලය යොදා ගත්තා. ඊළඟට භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ආයතනය එක්ස්ප්‍රස් ලයින් නමින් ස්ථාපිත කළා. 2013 දී මේ සියල්ලෙන් ඔබ්බට ගිහින් ආදායම් බදු ගණනය කිරීම සහ විශ්‍රාම වැටුප් ගණනය කිරීම පිළිබඳව ආයතනය පටන් ගත්තෙ.

එහිදී අපේ සේවය නොමිලේ. රජයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන ඊට ගෙවීම් කරන්නෙ රජයයි. මේ සියල්ල කළේ බැංකුවේ සේවය කරන අතරේදීය.

සුචින්ත යනු නිරන්තරයෙන් අනාගත දැක්මක් ඇති චරිතයකි. එසේ වුවද මේ වගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුර හැරදමා යන්නට ඔහු තීරණය ​ කළේය. සමහරු ඒ අසා මවිත විය. ශ්‍රී ලාංකිකයකු හැටියට යුරෝපීය බැංකුවක ඉහළ නිලයක් දරා එයින් ඉවත්වීම සැබැවින්ම පුදුම සහගත කරුණක්ම විය. ඒත් සුචින්තගේ හැටි එහෙමය.

ඔහු කරන දේට අවංක වූවෙකි.

මම බැංකුවේ රාජකාරිවල නියැලෙද්දී මගේ ව්‍යාපාර ගැන බැලුවේ නැහැ. හැබැයි අපේ ව්‍යාපාර දියුණු වෙද්දී මම එක දෙයකට අවංක විය යුතුය කියලා හිතුවා. ඒ වගේම කළු හමක් තියෙන පුද්ගලයෙක් ඊට එහා එනම් ඒ තනතුරට එහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා මම මගේ උපරිමයට ඇවිත්. එය මගේ ගමනාන්තය කියලා වටහා ගැනීමේ ශක්තිය තිබුණා. ඒනිසයි එදා ඒ බැංකු රස්සාවෙන් ඉවත්ව අපේම ආයතන තව තවත් දියුණු කරන්න හිතාගෙන බැංකු රස්සාවෙන් ඉවත් වුණේ.

එහි ඵළයක් ලෙස අප සතු ආයතන පහම පසුගිය වසර තුන ඇතුළත දී ඉහළ ප්‍රවර්ධනයක් කරා ගෙනෙන්නට හැකි වුණා.

දැක්මක් තිබූ සුචින්තගේ ජීවිතය අද හැඩ ගැන්වී තිබෙන්නේ එලෙසින්ය. මේ ගෙවී ගිය කාලයේදී හරි හම්බ කරගෙන ඔහු සියල්ල ආත්මාර්තකාමීව භුක්ති වින්දේ නැත. නිහඬව තමා උපන් රට වෙනුවෙන් සමාජ සේවයේ ද නියැලී සිටී.

අද වනවිට ඔහුගේ වින්ග්ස් ෆෝ වර්ල්ඩ් ඇතුළු ආයතනවල ඉතාලියේ පැතිරි තියෙන ශාඛා ගණන දහයකට ආසන්නය. සංචාරයකින් ශ්‍රී ලංකාවට ගෙන්වා රටට ආදායමක් ලබාදීමේ අරමුණ ඇතිව වින්ග්ස් ෆෝ වර්ල්ඩ් ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළේ 2014 වසරේදීය. පසුව වෙන්නප්පුව සහ වත්තල ද ශාඛා පිහිටුවා තිබේ.

ලංකාවෙන් විදේශයන්ට යාමට අපේක්ෂා කරන අය වෙනුවෙන් ආගමන විගමන කටයුතු සඳහා අවශ්‍ය ලියකියැවිලි සකසා දීම මෙන්ම ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවිකිරීම මෙන්ම විදේශීය සංචාරක සංවිධානය කිරීම එයින් සිදුවන සේවාවන්ය.

ශ්‍රී ලාංකීය සංචාරකයන්ට ලෝකය පෙන්වීම සහ යුරෝපීයයන් ශ්‍රී ලංකාවට ගෙන්වීම අපගේ ප්‍රයත්නයයි.

සුචින්ත එලෙසින් කියයි. ව්‍යවසායකත්වය එළැඹීමේදී ඔහු මුහුණ දුන්න ප්‍රධානම කාරණය ලෙස දකින්නේ අපේ ශ්‍රී ලාංකිකයින් තමුන්ගේ වටිනාකම වටහාගෙන නොසිටීම යැයි ඔහු සඳහන් කරයි. එනිසා යුරෝපීයන් අපේ ශ්‍රී ලාංකිකයන් පහත් කිරීමට උත්සුක වේ.

එක්තරා අවස්ථාවක මම ඉතාලි බැංකුවේ කළමනාකාර ලෙස සිටිය දී ලංකාවේ කෙනෙක් කතාකරලා අහලා තියෙන්නෙ ලංකාවේ ඉන්න කොල්ලා ඉන්නව ද? කියලයි. එවිට ඊට පිළිතුරු දුන් ඉතාලි ජාතික නිලධාරියා අසා තිබුණේ මම ඔබගේ ශ්‍රී ලාංකිකයාට ගරු කරනවා. ඇයි ඔබ එහෙම කතා කළේ කියලා.

මෙවැනි පුංචි පුංචි අඩුපාඩුකම් අපි විදේශයන්හි සිටියදී හදාගත යුතුයි. විටෙක යුරෝපයේ පැවතියේ ආර්ථික කඩා වැටීමක්. ඒ හමුවේ පවා අපට නැගී සිටින්න පුළුවන් වුණේ විවිධ අංශ පහකට නතුවූ ව්‍යාපාරවල යෙදී සිටි නිසයි. මේ ක්‍රමය දැකලා ඉතාලියේ අය පවා මවිත වූ අවස්ථා තිබුණා. ඒ අවස්ථාවේ මා කිව්වේ අපි අනාගතය දකින්නේ සුබවාදිව කියලයි. ශ්‍රී ලාංකිකයින් ඒ විදියයි කියලයි.

දිගු සුසුමක් පිට කරමින් ජීවිතයේ සැහැල්ලුව දනවමින් ඔහු තමා ඉතාලියේ සිට කළ ව්‍යවසායකත්වයේ විප්ලවය ගැන එසේ පවසයි.

මේ කිසි දෙයක් ලෙහෙසියෙන් ලැබිච්ච දේ නොවෙයි. මගේ බිරිඳ මගේ කාර්ය බහුලත්වය හමුවේ සියලු අවබෝධයෙන් කටයුතු කළා.

අවංකත්වය පෙරදැරිව ඒ ආ ගමනේදී ශ්‍රී ලාංකිය සමාජයට මේ දක්වා කළ සමාජ සේවය උදෙසා දේශමාන්‍ය යන ගරු බුහුමන අද ඔහුට ලැබී තිබේ. දේශමාන්‍ය ආචාර්ය සුචින්ත ලෙස බොහෝ දෙනා ඔහු ආමන්ත්‍රණය සඳහා යොදා ගත්ත ද ඔහු පවසන්නේ ආත්ම අභිමානය ඇතිවීමට නම් නිතරම අලුත් විදියට හිතලා ධෛර්මත්ව කටයුතු කළ යුතු බවයි.

එදා මම ඉතාලියට ගියේ මොකක් හරි කරලා ජීවත්වීමේ අරමුණින්. දැන් මම ඉතාලියේ අයව ජීවත් කරවනවා. ඉතාලි ජාතිකයන් 60 ක් පමණ සහ ලාංකිකයන් විශාල පිරිසකටත් රැකියා දීලා තියෙනවා.

ඒ අභිමානය ඇතිව කටයුතු කරන ආචාර්ය සුචින්ත ප්‍රනාන්දු හට තමා කලින් සේවය කළ බැංකු ආයතනයේ ශාඛාවක් වින්ග්ස් ෆෝ වර්ල්ඩ් ශාඛාවක් පවා ස්ථාපිත කිරීමට හැකිවිණි. එවකට තිබූ යුරෝපීය ආර්ථිකයේ කඩා වැටීම හමුවේ වසා දැමුණු එම බැංකු ශාඛාව එදා තමා සේවය කළ බැංකු ගොඩනැගිල්ල වීම දෛවයේ පුදුම සහගත දෙයකි.

දැන් අපේ ගුවන් ටිකට් පත් ආයතනයේ ප්‍රධාන ශාඛාව සහ සේවක පුහුණු වැඩමුළු පවත්වන්නේ එතැනයි.

දෛවය එලෙසින් ලියා ගත් සුචින්තගෙන් මේ සටහන අවසන් කිරීමට පෙර අප විමසුවේ ඉතාලියට ගිහින් සිටින තාරුණ්‍යයට වගේම ශ්‍රී ලාංකිය තාරුණ්‍යයට මෙලෙසින් ඔහු මෙන් නැගී සිටීමට නම් කුමක් කළ යුතුද යනුවෙනි.

ඔහු ඊට ලබා දුන්නේ ඉතා කෙටි පිළිතුරකි.

‘තමාට තමා විශ්වාස කරන්න’

අනිත් අයටත් බලන්න share කරන්න

සටහන : සඳුන් ගමගේ

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top