ලෝකය

නෙප්චූන්ට අලුත් චන්ද්‍රයෙක්

අප සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම ඇති ග්‍රහලොව නෙප්චූන්ය. නෙප්චූන්ගේ ඇතුළත කක්ෂයේ රැඳී ඇති කුඩා චන්ද්‍රයෙක් සොයා ගැනීමට නාසා විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ. මේ චන්ද්‍රයා ‘හිපෝකැම්ප්’ යනුවෙන් නම් කර ඇත.

නෙප්චූන් යන නම පමණක් නොව, නෙප්චූන්ගේ අනෙක් සෙසු චන්ද්‍රයන් ද නම් කර ඇත්තේ ග්‍රීක මිත්‍යා කතා අනුවය. ග්‍රීක මිත්‍යා කතා අනුව, ‘හිපෝකැම්ප්’ යනු අර්ධ අශ්වයකු සහ අර්ධ මාළුවෙකි. ඇමෙරිකාවේ චිකාගෝ නුවර තරම් විශාල ‘හිපෝකැම්ප්’ සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ පෘථිවියට ඔබ්බෙන් විශ්වයේ රඳවා ඇති ‘හබල්’ අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙනි.

නෙප්චූන්ගේ චන්ද්‍රයන් අතරට තවත් චන්ද්‍රයකු මෙසේ සොයා ගැනීම ඉතා වැදගත් බව නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඊට හේතුව නෙප්චූන් අපට තවමත් ආගන්තුක ග්‍රහයෙක් වීමය. නෙප්චූන් ග්‍රහයා සොයා ගැනීමෙන් පසු, එය ගවේෂණය කර ඇත්තේ එකම එක අවස්ථාවකදී පමණය. ඒ, වොයේජර් 2 යානය නෙප්චූන් අසලින් යද්දීය. ‘හිපෝකැම්ප්’ චන්ද්‍රයා, නෙප්චූන්ගේ තවත් චන්ද්‍රයකු වන ‘ප්‍රෝටස්’ චන්ද්‍රයාගේ කැබැල්ලකින් සැදුණු එකක් යැයි අනුමාන කෙරේ. ඒ, ‘ප්‍රෝටස්’ චන්ද්‍රයා හැල හැප්පීම්වලට ලක් වී ඇති නිසාය. ඒ අනුව, නෙප්චූන්ට අයත් චන්ද්‍රයන් ගණන 14 ක් තෙක් වැඩි වී ඇති බව ද නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

සෞරග්‍රහ මණ්ඩලයේ, හිරුගේ සිට අටවැනි ස්ථානයේ ඇති ග්‍රහලෝකය නෙප්චූන්ය. හිරුගේ සිට නෙප්චූන් ග්‍රහයාට ඇති දුර කිලෝ මීටර් මිලියන 4456 ක් හෝ 4537 කි. දුර ප්‍රමාණය වෙනස් වන්නේ, නෙප්චූන්ගේ පිහිටීම අනුවය. නෙප්චූන් ග්‍රහයා මුලින්ම සොයා ගැණුනේ 1846 වසරේදීය. යුරේනස් සොයා ගැනීම කළේ තාරකා විද්‍යාඳයන් නොව, ගණිතඥයන් දෙදෙනෙකි. ඉංග්‍රීසි ජාතික ගණිතඥ ජෝන් කවුච් ඇඩම්ස් සහ ප්‍රංශ ජාතික ගණිතඥ උර්බේන් ලෙ වෙරියේ ඔවුන් දෙදෙනාය.

නෙප්චූන් ග්‍රහයාට පෙර හත් වැනි ස්ථානයේ ඇත්තේ යුරේනස් ග්‍රහලොවයි. යුරේනස්ගේ ගුරුත්වාකර්ශන බලය අනුව, ඊට එපිටින් ග්‍රහලොවක් තිබිය හැකි බව ජෝන් කවුච් ඇඩම්ස් සහ උර්බේන් ලෙ වෙරියේ පෙන්වා දුන්නේය. ඒ අනුව, යුරේනස් සොයා ගැනීමට තාරකා විද්‍යාඳයෝ සමත් වූහ. නෙප්චූන් ඇත්තේ හිරුගේ සිට බොහෝ දුරකින් නිසා, නෙප්චූන් හිරු වටා එක් වටයක් යෑමට වර්ෂ 164.79 ක් (පෘථිවි වර්ෂ) ගත වෙයි. 1846 දී නෙප්චූන් සොයා ගැනීමෙන් පසු, එය හිරු වටා ගොස් ඇත්තේ එක් වටයක් පමණය.

යුරේනස් ග්‍රහයා සේම, නෙප්චූන් ග්‍රහයා ද වැසී ඇත්තේ නිල් පැහැති මීතේන් වායුවලිනි. මීතෙන් වායු සෙල්සියස් රින අංශක 210 ක් පමණ වනු ඇති බවත්, හයිඩ්‍රජව් සහ හීලියම් වායු මිශ්‍රණයකින් නෙප්චූන්ගේ ඝන වායු ගෝලය නිර්මාණය වී ඇති බවත් පැවැසෙයි. යුරේනස් මෙන් නොව, නෙප්චූන් මුළුමනින්ම නිල් පැහැයෙන් දිස්වෙයි. නෙප්චූන්ගේ සුදු පැහැති වළාකුළු දකින්න ලැබේ. මේ වළාකුළු නිර්මාණය වී ඇත්තේ ග්‍රහලොව අභ්‍යන්තරයේ ඇති උණුසුම නිසාය. නෙප්චූන් ග්‍රහයාගේ සුළං බිහිසුණු අන්දමින් ප්‍රබල යැයි පැවැසෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රචණ්ඩතම සුළං ඇත්තේ නෙප්චූන්ගේය. ඒවා හමා යන්නේ පැයට කිලෝ මීටර් 2,000 ක වේගයකිනි.

ටයිටන් යනු නෙප්චූන්ගේ චන්ද්‍රයෙකි. ටයිටන් කොළ පැහැතිය. නයිට්‍රජන් සහිත අයිස්වලින් පිරුණු ධ්‍රැව ප්‍රදේශ රෝස පැහැයක් ගනී. ටයිටන්ගේ ගිනි කඳු නොව අයිස් කඳු ඇත. මේ අයිස් කඳු පුපුරා අයිස් විහිදීම් සිදුවෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ අධික සීතලක් ඇති චන්ද්‍රයා ටයිටන්ය. මතුපිට උෂ්ණත්වය සෙල්සියක් රින 236 ක් යැයි පැවැසෙයි.

නෙප්චූන්ගේ විශ්කම්බය කිලෝ මීටර් 49,528 කි. විශ්කම්බය අතින් විශාලත්වයෙන් සිවු වැනි ස්ථානයට වැටෙන්නේ නෙප්චූන්ය. අසල්වැසි යුරේනස්ට වඩා තරමක් කුඩාය. නෙප්චූන්ට ඉතා තුනී වළලු ඇත. ඒවා දකුණට ඇලව පිහිටන්නේ නැත. තනි කෙළින් පිහිටයි.

නෙප්චූන්ගේ චන්ද්‍රයන් අට දෙනා නම් කර ඇත්තේ ග්‍රීක මිත්‍යා කතාවලට අනුවය. අලුතින් සොයා ගත් චන්ද්‍රයාට අමතරව තවත් චන්ද්‍රයන් පස් දෙනකු සොයා ගැනීමට හැකි වී ඇත. කෙසේ නමුත් එම චන්ද්‍රයන් ද මෙතෙක් නම් කර නැති බව ද පැවැසෙයි.

නෙප්චූන්ගේ මතුපිට ද කළු ලපයකි. මහා අඳුරු ලපය යනුවෙන් මෙය හැඳින්වෙයි. මේ ලපය දකින්න ලැබුණේ නෙප්චූන් ගවේෂණය කරමින් එය පසු කළ ‘වොයේජර් 2’ නාසා ගවේෂණ රොබෝ යානයයි. ඒ, 1989 දීය. දැන් එම කළු ලපය අතුරුදන්ව ඇත. නෙප්චූන් පසු කරමින් ඉදිරියට ගමන් කළ ‘වොයේජර් 2’ යානය මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලය පසු කරමින් ඉන් ඔබ්බට ගමන් කර ඇත.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

ඒ.එෆ්.පී. ඇසුරිනි

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top